කල්මුණේ රෝහල ඇතුළු අනෙකුත් රෝහල්වල මුස්ලිම් කාන්තා හෙද නිලධාරිනියන්ගේ නිල ඇඳුම් සම්බන්ධයෙන් මතුව ඇති ගැටලුවට කඩිනම් සහ ස්ථිර විසඳුමක් ලබාදීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.
මේ සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් අද පෙරවරුවේ පාර්ලිමේන්තු සංකීර්ණයේදී සෞඛ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පවත්වා ඇති අතර, මුස්ලිම් සහ දෙමළ මන්ත්‍රීවරුන් පිරිසක්ද ඊට සහභාගි වී තිබේ.
මෑත දිනවලදී අවධානයට ලක්වූ මෙම සංවේදී ගැටලුව පිළිබඳව සාකච්ඡාවේදී පුළුල් ලෙස අවධානය යොමු කර ඇති අතර, රෝහල්වල කටයුතු බාධාවකින් තොරව පවත්වාගෙන යාම, අදාළ හෙද නිලධාරිනියන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සහ සියලු පාර්ශ්ව අතර එකමුතුව පවත්වා ගැනීම සඳහා සාමකාමී හා ප්‍රායෝගික විසඳුමක අවශ්‍යතාව අවධාරණය කර තිබේ.
ඒ අනුව, මතුව ඇති වත්මන් ගැටලුවට විසඳුම් ලබාදීම සඳහා කඩිනම් කෙටිකාලීන ක්‍රියාමාර්ග හඳුන්වා දෙන බව සෞඛ්‍ය අමාත්‍යවරයා සහතික කර ඇත.
එමෙන්ම, අනාගතයේදී මෙවැනි ගැටලු යළි ඇති නොවීම සඳහා ස්ථිර හා දිගුකාලීන විසඳුමක් කඩිනමින් හඳුනාගෙන ක්‍රියාත්මක කරන බවද අමාත්‍යවරයා ප්‍රකාශ කර තිබේ.


