කලකට පසු කොරෝනා ආසාදිතයින් සහ මරණ අඩු වීමක්

කලකට පසු මෙරටින් වාර්තාවන දෛනික කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව සහ මරණ සංඛ්‍යාව අඩු වී තිබෙනවා.

ඊයේ දිනයේදී මෙරටින් කොරෝනා ආසාදිතයින් 1,986 දෙනෙකු වාර්තා වූ අතර එලෙස දෙදහසට අඩුවෙන් මෙරටින් කොරෝනා ආසාදිතයින් වාර්තා වූයේ දින 53කට පසුවයි.

ඊයේ දිනයේදී මෙරටින් කොරෝනා මරණ 84ක් වාර්තා වුණා. දෛනික කොරෝනා මරණ සංඛ්‍යාව 100කට අඩුවෙන් එලෙස වාර්තා වූයේ දින 40කට පසුවයි. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ තහවුරු කළ එම කොරෝනා මරණ 84 ඉකුත් 17වනදා සිදුව තිබෙනවා.

මෙම කොරෝනා මරණ සංඛ්‍යාවත් සමග සමස්ථ කොරෝනා මරණ සංඛ්‍යාව දොලොස් දහස ඉක්මවා ගියා. ඊයේ තහවුරු කළ කොරෝනා මරණ 84න් 58 දෙනෙකුම වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයින්. වයස අවුරුදු 30ත් 59ත් අතර මරණ 23ක්ද ඊයේ තහවුරු කළ කොරෝනා මරණ අතර වනවා.

වයස අවුරුදු 30ට අඩු මරණ තුනක්ද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ තහවුරු කළ මරණ අතර වන බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

මෙරටින් මේ දක්වා කොරෝනා ආසාදිතයින් පන් ලක්ෂ 2,758 දෙනෙකු වාර්තා වූ අතර ඉන් සක්‍රිය ආසාදිතයින් ලෙස තවදුරටත් ප්‍රතිකාර ලබන්නේ ආසාදිතයින් 59,700 දෙනෙකු පමණයි.

මේ අතර රුසියාවේ නිෂ්පාදිත ” ස්පුට්නික් – ඪ ” එන්නතේ දෙවන මාත්‍රාවට අයත් එන්නත් මාත්‍රා එක් ලක්ෂ 20,000 ක්  භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයකින්  අද අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන ආවා.

මුලින්ම  එම එන්නත් තොගය, රුසියාවේ මොස්කව් නුවර සිට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි වෙත ගුවන් මගින් රැගෙනවිත් තිබු අතර පසුව එම එන්නත් තොගය ඩුබායි සිට එමිරේට්ස් ගුවන් සේවයට අයත් භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයකින් කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන විත් තිබෙනවා.  මෙම ” ස්පුට්නික් – ඪ ” එන්නත් තොගය , මහනුවර ප්‍රදේශයේ , එම එන්නතේ පළමු මාත්‍රාව ලබා ගත් ජනතාව වෙත ලබා දීමට නියමිතයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *