කතරගම දේවාලයට පූජා කරන රත්‍රං කපු මහතුන්ට අයිති බවත් එබැවින් එයට ලැබුණු රන් තැටිය තමා රැගෙන ගිය බවත් ඓතිහාසික රුහුණු කතරගම දේවාලයේ ප්‍රධාන කපු මහතා වන සොමිපාල ටී. රත්නායක පවසා ඇතැයි වාර්තාවෙයි. කොළඹ අපරාධ කොට්ඨාසයේ විමර්ශන නිලධාරීන්ට ඔහු එසේ පවසා ඇති බව වාර්තා විය.
දින කිහිපයක් අතුරුදන්ව සිටි ඓතිහාසික රුහුණු කතරගම දේවාලයේ ප්‍රධාන කපු මහතා වන සොමිපාල ටී. රත්නායක ඊයේ (27) පෙරවරු 7.30ට පමණ කොළඹ අපරාධ කොට්ඨාසයට පැමිණ භාර වුණි.
එහිදී සැකකාර කපු මහතා අත්අඩංගුවට ගෙන පැය එකහමාරක පමණ කාලයක් ප්‍රකාශ සටහන් කරගෙන තිබුණි.
සැකකාර කපු මහතාව තිස්සමහාරාම මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත්කිරීමෙන් පසු රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහැරුණි.
ඉන්දියාවේ සැඟව සිටියදී මියගිය පාතාල කල්ලි නායක අංගොඩ ලොක්කාගේ බිරිඳ විසින් ඓතිහාසික රුහුණු කතරගම දේවාලයට පවුම් 38ක බරින් යුත් රන් තැටියක් මීට කලකට පෙරදී පූජා කර තිබුණි.
ඒ පවුලේ සාමාජිකයෙකුගේ අපලයකට ප්‍රතිකර්මයක් සඳහා බව පවසමිනි.
අදාළ රන් තැටිය අස්ථානගතවීම සම්බන්ධයෙන් කතරගම දේවාලයේ බස්නායක නිලමේ ඩිල්ෂාන් වික්‍රමරත්න ගුණසේකර මහතා 2021 ඔක්තෝබර් මාසයේදී පොලිස්පතිවරයාට පැමිණිල්ලක් කළේය.
ඒ අතුරතුරදී දේවාලයේ ගබඩා භාරකරු වන සමන් ප්‍රියන්ත නොහොත් චූටි කපු මහතා පවුම් 25ක් පමණ බරැති වෙනත් රන් තැටියක් දේවාලයට භාරදී තිබුණේ එය අස්ථානගත වූ රන් තැටිය බව පවසමිනි.
ඒ පිළිබඳ විමර්ශන සිදුකෙරෙන පසුබිමක නීතිපතිවරයා දැනුම්දී තිබුණේ කතරගම දේවාලයේ ප්‍රධාන කපු ධුරය හොබවන සොමිපාල ටී.රත්නායක හා එම දේවාලයේ ගබඩා භාරකරු ලෙස කටයුතු කළ සමන් ප්‍රියන්ත නොහොත් චූටි කපු මහතා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ය.
ඒ අනුව විමර්ශන කණ්ඩායමක් දෙසැම්බර් 12 වැනිදා අදාළ කපු මහතුන් දෙදෙනාගේ නිවෙස් පරීක්ෂා කළත් ඔවුන් එහි නොසිටි බව වාර්තා විය.
කෙසේවෙතත් සමන් ප්‍රියන්ත නොහොත් චූටි කපු මහතා දෙසැම්බර් 19 වනදා කොළඹ අපරාධ කොට්ඨාසයට පැමිණ භාරවීමෙන් අනතුරුව අධිකරණයට ඉදිරිපත් කර ඇපමත මුදා හැරුණි.
කතරගම දේවාලයේ ප්‍රධාන කපු මහතා වන 85 හැවිරිදි සොමිපාල ටී. රත්නායක ව සොයාගැනීමට පොලිසියට නොහැකි වූ අතර ඔහුගේ දියණියක් පසුගිය 23 වනදා කතරගම පොලිසියට පැමිණිල්ලක් කර තිබුණේ සිය පියා අතුරුදන්ව ඇති බව පවසමිනි.
මේ අතර කතරගම දේවාලයට බැතිමතුන්ගෙන් ලැබෙන ආධාර සියයට පනහකින් පමණ අඩුවී ඇතැයි එහි කපුමහත්වරුන් පවසයි.
කෙසේවෙතත් දේවලය අසල ස්ථාපිත කර ඇති මහරගම පිළිකා රෝහලට ආධාර ලබා ගැනීමට පිහිටුවා ඇති කාර්යාලයට ලැබෙන ආධාර ශීඝ්‍ර ලෙස ඉහළ ගොස් ඇති බව වාර්තාවෙයි.
දෙසැම්බර් 15 වැනිදා සිට 26 වැනිදා දක්වා කාලය තුළ පමණක් රුපියල් ලක්ෂ 10ක පමණ මුදලක් ඊට ආධාර ලෙස ලැබී ඇති බව සඳහන් ය.