Wednesday, 11 November 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

එන්නත ලබා නොගත් අය පිළිබඳව සෙවීමට පොලිස් කණ්ඩායම්

බෙදාගන්න
XWhatsAppTelegramඅදහස්

කොවිඩ් මර්දන එන්නත් එක් මාත්‍රාවක් හෝ ලබානොගත් කොළඹ නගරය තුළ සිටින අවුරුදු 30ට වැඩි පුද්ගලයින් සොයා මේ වන විට මෙහෙයුමක් ආරම්භ කර තිබේ.

ඒ අනුව අද දිනයේ සිට කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයට එවැනි පිරිස් රැගෙන විත් එන්නත් ලබාදීමේ වැඩපිළිවෙලක් ආරම්භ කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.

ශ්‍රී ලංකා ප්‍රජා පොලිස් කමිටු මඟින් ඔවුන් සොයා මෙහෙයුම් දියත් කර ඇති අතර, එයට සෞඛ්‍ය බලධාරීන් හා කොළඹ මහනගර සභාවේ නිලධාරීන් ද සහයෝගය දක්වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් කියා සිටියේය.

මේ වන විට 5,000කට ආසන්න පිරිසක් ප්‍රජා පොලිස් කමිටුවල මැදිහත් වීමෙන් එන්නත්කරණය සඳහා සුගතදාස ක්‍රීඩාංගණයට රැගෙන විත් තිබේ.

ජනාධිපතිවරයාගේ උපදෙස් මත මෙම වැඩසටහන දියත් කර ඇති අතර, කොළඹ සිටින එක් මාත්‍රාවක් හෝ ලබානොගෙන සිටින පුද්ගලයින් හැකි ඉක්මනින් සුගතදාස ක්‍රීඩාංගණයට පැමිණෙන ලෙස ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා දැනුම් දෙයි.

එන්නත්කරණ වැඩසටහන හෙට දිනයේ දීද පැවැත්වෙන බැවින් එන්නත් මාත්‍රා එකක් හෝ ලබානොගත් පිරිසට ඒ සඳහා සහභාගී විය හැකි බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

ඔබේ අදහස