එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ දත්ත ගබඩාව සොයා දෙන්නැයි ඉල්ලීමක්

ගිනි ගැනීමට ලක්ව අනතුරට පත් එම්.වී.එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ වත්මන් තත්ත්වය සොයාබැලීමට අද නාවික හමුදා කිමිදුම්කරුවෝ පියවර ගෙන තිබුණි.

නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ඉන්දික ද සිල්වා මහතා පැවසුවේ, නෞකාවේ ගමන් පථ දත්ත ගබඩාව සොයා දෙන්නැයි වෙළෙඳ නාවික ලේකම් ආයතනයෙන් ඉල්ලීමක් කර ඇති බවය.

මේ අතර, නෞකාවේ ඉදිරි කටයුතුවලදී ඉන්ධන කාන්දුවක් සිදු නොවන ලෙසට වගබලාගත යුතු බවට නෞකාවේ ගැලවුම්කාර සමාගමට සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය ලිඛිතව නියෝග කර තිබේ.

නෞකාව ගැඹුරු මුහුද දෙසට ඇදගෙන යාම ඊයේ ආරම්භ කළත් එය ගෙන යා හැකි වූයේ මීටර 500 ක දුරකට පමණි.

නෞකාවේ පිටුපස කොටස ක්‍රමයෙන් මුහුදු ජලයෙන් යටවීම නිසා අතරමග එම උත්සාහය අත්හැර දැමුණි.

මේ වනවිට නෞකාවේ පිටුපස කොටස මීටර 22ක් පමණ ගැඹුරින් ඇති මුහුදු පතුලේ ගැටී තිබේ.

සායනික ද්‍රව්‍ය සහ රූපලාවණ්‍ය ආලේපන අඩංගු බහාලුම් 1,486ක් මේ නෞකාවේ ප්‍රවාහනය කෙරෙමින් පැවති අතර නයිට්‍රික් අම්ල මෙට්‍රික් ටොන් 25, ප්ලාස්ටික් අමුද්‍රවය මෙට්‍රික් ටොන් 78 ක් ඊට ඇතුළත් විය.

ප්ලාස්ටික් අමුද්‍රව්‍ය තොගයට කුඩා ප්ලාස්ටික් පෙති බිලියන 03 කට ආසන්න ප්‍රමාණයක් ද ඇතුළත්ය.

ඒ නෞකාවෙන් සාගර ජලයට එක් වූ අපද්‍රව්‍ය පුත්තලම සිට ගාල්ල දක්වා වෙරළ තීරයේ ස්ථාන කිහිපයට ගොඩ ගැසී තිබේ.

අද එම අපද්‍රව්‍ය මාතර සහ මඩිහේ ප්‍රදේශ අතර වෙරළ තීරයට ද ගොඩගසා තිබුණි.

මේ අතර නෞකාවෙන් මුහුදට එක්වු තෙල් බවට සැකසහිත තෙල් පැල්ලමක් අද ගල්කිස්ස මුහුදු වෙරළ තිරයේ දක්නට ලැබුණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *