එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ කපිතාන් ඇතුළු තිදෙනෙක් ට ශ්‍රී ලංකාවෙන් පිටවීම තහනම්

කොළඹ වරාය ආසන්නයේ ගිනි ගැනීමට ලක්වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ කපිතාන්වරයා, ප්‍රධාන ඉංජිනේරුවරයා සහ සහායක ඉංජිනේරුවරයා යන තිදෙනාට රටින් පිටවීම වළක්වාලමින් කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය විසින් නියෝගයක් නිකුත් කළේය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය සිදුකරන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් මාධව තෙන්නකෝන් මහතා කළ ඉල්ලීමක් සලකා බැලූ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා විසින් එම නියෝගය නිකුත්කර තිබේ.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ අතිරේක මහෙස්ත්‍රාත්වරයා මෙම සිද්ධියේ සැකකරුවන් වශයෙන් හඳුනාගෙන ඇති අදාළ නෞකාවේ කපිතාන්වරයා, ප්‍රධාන ඉංජිනේරුවරයා සහ සහායක ඉංජිනේරුවරයාට ජුනි මස 7 වනදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා නොතීසි නිකුත් කිරීමට ද නියෝග කළේය.

එමෙන්ම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිළධාරීන් සමඟ රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට නෞකාව අනතුරටපත් ස්ථානයට ගොස් විමර්ශන සිදුකිරීමට ද අවසර දුන් අතිරේක මහේස්ත්‍රාත්වරයා එම කටයුතු වලට අවශ්‍ය සහාය ලබාදෙන ලෙස නාවික හමුදාපතිවරයාට ද නියෝග කිරීමට පියවර ගත්තේය.

විමර්ශනවලට අවශ්‍ය ලේඛන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ලබාදෙමින් විමර්ශන කටයුතුවලට සහාය දෙන ලෙස අදාළ නෞකාවේ දේශීය නියෝජිත සමාගමේ සභාපති අර්ජුන හෙට්ටිආරච්චි මහතාට ද අතිරේක මහේස්ත්‍රාත්වරයා විසින් තවත් නියෝගයක් නිකුත් කළේය.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අධිකරණය හමුවේ කරුණු දක්වමින්, මෙට්‍රික් ටොන් 55 ක ධාරිතාවයකින් යුත් නයිට්‍රික් අම්ල පුරවාගත් බහලුම් අඩංගු සිංගප්පූරු ධජය යටතේ ගමන් ගත් මෙම නෞකාවේ අන්තර්ගතව තිබූ එක් බහලුමක රසානික ද්‍රව්‍ය කාන්දුවක් ඇතිවී තිබූ බවත් සඳහන් කළේය.

මේ නිසා අදාළ නෞකාව කටාර් සහ ඉන්දියානු වරායන් වෙත ඇතුළත් කර ගැනීම ප්‍රතික්ෂේපකර තිබූ බව පෙන්වාදුන් නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල්වරයා අදාළ නෞකාවේ රසායනික ද්‍රව්‍ය කාන්දුවක් සහ ගිනි ගැනීමක් පවතින බව දනිමින් ඒ බව දැනුම් දීමකින් තොරව කොළඹ වරාය සීමාවට එය ඇතුළු වී ඇතැයි ද පැවසීය.

අන්තර්ජාතික නාවික සම්මුතීන්ට අනුව යම් නෞකාවක අනතුරක් පවතින අවස්ථාවක ඒ බව යම් වරායකට ඇතුළුවීමට පැය 72 ක ට පෙර අදාළ වරාය වෙත දැනුම් දිය යුතුය.

එහෙත් “එක්ස්ප්‍රස් පර්ල්” නෞකාවේ කපිතාන්වරයා හෝ එහි දේශීය නැව් සමාගම් නියෝජිතයා හෝ අදාළ නෞකාවේ අනතුරක් පවතින බවට ශ්‍රී ලංකාවේ බලධාරීන් දැනුවත් කිරිමට පියවර ගෙන නොමැති බවට ද ඔහු චෝදනා ළේය.

මෙය බරපතළ වරදක් බව නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අධිකරණය හමුවේ පෙන්වා දුන්නේය.

ඒ අනුව දැනට සිදුකරන ලද විමර්ශනවලට අනුව සමුද්‍ර දූෂණ වැලැක්වීමේ පනත, අපරාධ නඩු විධාන සංග්‍රහය, දණ්ඩ නීති සංග්‍රහය සහ වනජීවී හා වෘක්ෂලතා ආඥා පනත යටතේ බැලූ බැල්මටම වරදවල් සිදුකර ඇති බවට කරුණු අනාවරණය වී ඇති බවත් අදාළ නෞකාවේ කපිතාන්වරයා, ප්‍රධාන ඉංජිනේරුවරයා සහ සහයක ඉංජිනේරුවරයා එම නඩුවේ සැකකරුවන් වශයෙන් හඳුනාගෙන තිබෙන බවත් නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල්වරයා අධිකරණයට කරුණු කළේය.

මෙම නෞකාවේ කපිතාන්වරයා, ප්‍රධාන ඉංජිනේරුවරයා සහ සහායක ඉංජිනේරුවරයා විදේශිකයින් වන බවත් ඔවුන් මේ වන විට නිරෝධායනයට  ලක්කර තිබෙන බවත් ඔහු දැනුම් දුන්නේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *