මෙවර අ.පො.ස. උසස් පෙළ විභාගය පැවැත්වීම වලකාලන අතුරු නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ශිෂ්‍යාවක ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම සම්බන්ධයෙන් කරුණු තහවුරු කිරීම සඳහා දෙසැම්බර් 12 වැනිදා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළේය.
අගවිනිසුරු ජයන්ත ජයසූරිය, මුර්දු ප්‍රනාන්දු සහ ප්‍රියන්ත පනාන්දු යන මහත්ම මහත්මීන්ගේ සැදුමලත් විනිසුන් මඩුල්ලක් හමුවේ පෙත්සම සලකා බැලණි.
මෙවර අ.පො.ස. උසස් පෙළ විභාගයට පෙනී සිටින අපේක්ෂිකාවක් වන හංසනි අලහකෝන් සිසුවිය ගොනු කොට ඇති පෙස්සමේ වගඋත්තරකරුවන් වශයෙන් විභාග කොමසාරිස් ජනරාල්වරයා, අධ්‍යාපන ඇමැති හරිනී අමරසූරිය මෙනවිය ඇතුළු පිරිසන් නම් කර ඇත.
අ.පො.ස. උසස් පෙළ අධ්‍යාන කාලය අධ්‍යාන දින 107 ක් සම්පූර්ණ විය යුතු බව 39/2023 චක්‍ර ලේඛණයේ පැහැදිලිව සඳහන් කර ඇතැයි පෙන්වා දෙන පෙත්සම්කාර සිසුවිය මෙම අධ්‍යයන කාල සීමාවට පෙර මෙවර උසස් පෙළ විභාගය පැවැත්වීමට කටයුතු යොදා ඇතැයිද සඳහන් කරන්නීය.
මේ තත්වය යටතේ උසස් පෙළ විභාගය පැවැත්වීම හේතුවෙන් ලක්ෂ තුනකට ආසන්න සිසු සිසුවියන්ට මහත් අසාධාරණයක් වි ඇතැයිද නියමිත පරිදි විෂයමාලා සම්පූර්ණ කිරීමට නොහැකි වී ඇතැයිද වැඩිදුරටත් සඳහන් කරන පෙත්සම්කාරිය තම පෙත්සම විභාගයට අවසර දෙන ලෙසද උසස් පෙළ විභාගයේ පැවැත්වීම වළකාල අතුරු නියෝගයක් නිකුත් කරන ලෙසද අදාළ කාල සටහන බලශුන්‍ය කරන ලෙසද ඉල්ලා සිටින්නීය.
පෙත්සම කැඳවු අවස්ථාවේදී වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් නිර්මලත් විග්නේෂ්වරන් මහතා කරුණු දක්වමින් මෙම් වන විට විභාගය ආරම්භ කර ඇති හෙයින් පෙත්සම පවත්වාගෙන යෑමට හැකියාවක් නැතැයි කීය.
පෙත්සම්කාරිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නිතිඥ ටිරන්ත වලලියද්ද මහතා කරුණු දක්වමින් පෙත්සම සංශෝධනය කිරීමට අධිකරණයෙන් අවසර ඉල්ලා සිටියේය.
නිර්මලත් විග්නේෂ්වරන් මහතා කරුණු දක්වමින් පෙත්සම්කාර පාර්ශවය කරන ඉල්ලීට අවසර දෙන්නේ නම් ඒ සම්බන්ධයෙන් විරෝධතා ගොනු කිරීමටද අවසර දෙන්නැයි ඉල්ලා සිටියේය.
කරුණු සළකා බැලීමෙන් අනතුරුව සංශෝධන පෙත්සමට අවසර දුන් අධිකරණය පෙත්සම සම්බන්ධයෙන් කරුණු තහවුරු කිරීම සඳහා දෙසැම්බර් 12 වැනිදා කැඳවීමට නියෝග කළේය.
පෙත්සම්කාරිය වෙනුවෙන් ජනාධිපති නීතිඥ ටිරන්ත වලලියද්ද මහතා පෙනී සිටි අතර වගඋත්තරකරුවන් වෙනුවෙන් නියොජ්‍ය සොලිසිටර් ජනරාල් නිර්මලන් විග්නේෂ්වරන් මහතා පෙනී සිටියේය.