මෙරට දෛනික කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව අනුව ඊයේ දිනය තුළ බස්නාහිර පළාතෙන් නව ආසාදිතයින් 1,500කට ආසන්න පිරිසක් හඳුනාගෙන තිබේ.
කොවිඩ් -19 පැතිරීම වැළක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ සංඛ්‍යා දත්තවලට අනුව ඊයේ දිනය තුළ දිස්ත්‍රික්ක 8කින් 100කට වැඩි අසාදිතයින් සංඛ්‍යාවක් වාර්තා වී ඇත.
ඉන් වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවක්, පෙරේදා දිනයේ ඉතා අඩු ආසාදිතයින් සංඛ්‍යාවක් වාර්තා වු ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තාවීම ද විශේෂත්වයකි.
පෙරේදා දිනයේ ගම්පහ දිස්ත්‍රික්කයෙන් දෛනික ආසාදිතයින් 35 දෙනෙකු හඳුනාගෙන තිබු අතර ඊයේ දිනයේ දී ගම්පහ දිස්ත්‍රික්කයෙන් හඳුනාගෙන ඇති ආසාදිතයින් සංඛ්‍යාව 591කි.
කොළඹ දිස්ත්‍රික්කයෙන් 455ක් සහ කළුතර දිස්ත්‍රික්කයෙන් 437 දෙනෙකු ආසාදිතයින් ලෙස වාර්තාවීමත් සමග බස්නාහිර පළාතෙන් ඊයේ දිනය තුළ හඳුනාගැණුනු ආසාදිතයින් ගණන 1,483කි.
ගාල්ල දිස්ත්‍රික්කයෙන් ඊයේ දිනයේ දී ආසාදිතයින් 327 දෙනෙකු හඳුනාගෙන ඇත.
මෑත කාලීනව ගාල්ල දිස්ත්‍රික්කයේ දෛනික ආසාදිතයින් මෙතරම් සංඛ්‍යාවක් හඳුනාගත් පළමු අවස්ථාව ලෙස ද මෙය සැලකෙයි.
මීට අමතරව බදුල්ලෙන් 100ක්, මාතලෙන් 113ක්, පුත්තලමෙන් 136ක් සහ රත්නපුරෙන් 179ක් ලෙස ආසාදිතයින් වාර්තා වී තිබේ.
විදෙස් රටවල සිට පැමිණි පුද්ගලයින් 46 දෙනෙකු ද ආසාදිතයින් ලෙස හඳුනාගැනීමත් සමග මෙරටින් ඊයේ දිනයේ දී හඳුනාගැණුනු ආසාදිතයින් ගණන 3,039කි.
මාස දෙකකට අධික කාලයකට පසුව දෛනික ආසාදිතයින් 3000සේ සීමාව ඉක්මවා ගිය පළමු අවස්ථාව ද මෙය වෙයි.
මීට ප්‍රථම අවසන් වරට ආසාදිතයින් 3,000සේ සීමාව ඉක්මවා ගොස් ඇත්තේ ජුනි මස 05වන දින බව සෞඛ්‍ය අමාත්‍යාංශ වාර්තා පෙන්වා දෙයි.
මේ වනවිට මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන 345,118 දෙනෙකු දක්වා ඉහළගොස් තිබේ.
ඒ අනුව රෝහල්ගතව ප්‍රතිකාර ලබන සංඛ්‍යාව ද 37,199 ක් ලෙස ඉහළගොස් ඇත.
කෙසේවෙතත් සමස්ත ආසාදිතයින්ගෙන් 302,455 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටවගොස් ඇති බවද සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කරයි.
පසුගිය 11වැනිදා සිදුවූ කොවිඩ් ආසාදිත මරණ 156ත් සමග මෙරටින් වාර්තා වන සමස්ත කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 5,620කි.
කොවිඩ් -19 එන්නත්කරණ වැඩසටහන යටතේ ඊයේ දිනය තුළත් එන්නත් මාත්‍රා ලක්ෂ 3කට වැඩි සංඛ්‍යාවක් ලබාදී ඇති බව වසංගත රෝග විද්‍යා අංශය පැවසීය.
ඒ අනුව එන්නත් මාත්‍රා 334,020ක් ලබා දී තිබේ.
එහිදී කොවිෂීල්ඩ්, සයිනොෆාම් සහ ෆයිසර් යන එන්නත්වල පළමු සහ දෙවන මාත්‍රා ලබාදී ඇති බව එම අංශය සඳහන් කළේය.
කොවිෂීල්ඩ් එන්නතේ පළමු මාත්‍රාව පුද්ගලයින් 31,041 දෙනෙකුටත් දෙවන මාත්‍රාව 955 දෙනෙකුටත්, සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව 76,694 දෙනෙකුටත් දෙවන මාත්‍රාව 217,962කුටත් ලබාදී ඇත.
එමෙන්ම ෆයිසර් එන්නතේ දෙවන මාත්‍රාව පුද්ගලයින් 7,251 දෙනෙකුට සහ පළමු මාත්‍රාව පුද්ගලයින් 117 දෙනෙකුට ලබාදී ඇති බවද වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේය.
මේ අතර මෙරට එන්නත්කරණ වැඩසටහන යටතේ මේ දක්වා පුද්ගලයින් 1 කෝටි 56 ලක්ෂ 89,167 දෙනෙකුට කොවිඩ් මර්දන එන්නත් ලබාදී තිබේ.