ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය අද එක්දින සංකේත වැඩවර්ජනයක

රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතිය තුළ පවතින නොවිසඳුණු ගැටලු රැසකට කඩිනම් විසඳුම් ලබාදෙන ලෙස බලකරමින්, දිවයිනේ සියලුම රාජ්‍ය විශ්වවිද්‍යාල ආවරණය වන පරිදි අද (30) එක්දින සංකේත වැඩවර්ජනයක් ක්‍රියාත්මක කරන බව විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය (FUTA) නිවේදනය කරයි.

විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනයේ ප්‍රධාන ලේකම්, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය චාරුදත්ත ඉල්ලංගසිංහ මහතා සඳහන් කළේ, මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය සමස්ත රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතිය පුරාම අද දින ක්‍රියාත්මක වන බවයි.

විශ්වවිද්‍යාල තුළ පවතින දැඩි කථිකාචාර්ය හිඟය, දැනට සේවයේ නියුතු ආචාර්ය මණ්ඩලයට පැවරී ඇති අධික කාර්යභාරය, ප්‍රමාණවත් සම්පත් සහ භෞතික පහසුකම් නොමැතිකම ඇතුළු දීර්ඝකාලීන ගැටලු රැසකට නිසි බලධාරීන්ගෙන් සාධනීය විසඳුම් නොලැබීමට විරෝධය පළකරමින් මෙම වැඩවර්ජනය දියත් කරන බව ඔහු පෙන්වා දුන්නේය.

අද විරෝධතා පාගමනක්

මෙම වැඩවර්ජන ක්‍රියාමාර්ගයට සමගාමීව, විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සහභාගීත්වයෙන් අද දිනයේ දැවැන්ත විරෝධතා පාගමනක් සංවිධානය කර ඇති බවද ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය චාරුදත්ත ඉල්ලංගසිංහ මහතා වැඩිදුරටත් අනාවරණය කළේය.

ශ්‍රී ලංකාවේ රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතිය මේ වන විට මුහුණ දී සිටින බරපතළ කඩාවැටීම සහ අභියෝග පිළිබඳව රජයේ මෙන්ම පොදු මහජනතාවගේ දැඩි අවධානය යොමුකරවීම මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයේ මූලික අරමුණ බවද සම්මේලනය අවධාරණය කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *