පාකිස්තානයේ ජනප්‍රිය හිටපු ක්‍රිකට් නායක ඉම්රාන් ඛාන්ගේ පුතුන් වන සුලෙයිමාන් සහ කාසිම් සමඟ කළ සම්මුඛ සාකච්ඡාවක් විකාශය කිරීම සම්බන්ධයෙන් පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් ස්කයි රූපවාහිනී නාලිකාවට නිල වශයෙන් පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.
එංගලන්තයේ හිටපු ක්‍රිකට් නායකයෙකු මෙන්ම රූපවාහිනී විස්තර විචාරකයෙකු වන මයිකල් ඇතර්ටන් විසින් ස්කයි නාලිකාව වෙනුවෙන් මෙම සම්මුඛ සාකච්ඡාව සිදුකර ඇති අතර, එහි සම්පූර්ණ වැඩසටහන එංගලන්තය සහ පාකිස්තානය අතර ලෝඩ්ස් ක්‍රීඩාංගණයේ පැවති දෙවැනි ටෙස්ට් තරගයේ පළමු දිනයේදී විකාශය කර තිබේ.
ගාඩියන් පුවත්පත වාර්තා කරන පරිදි, ටෙස්ට් තරගාවලියේ නිල විකාශකයා වන ස්කයි නාලිකාව වත්මන් පාකිස්තාන රජය දැඩි ලෙස විවේචනය කරන සම්මුඛ සාකච්ඡාවක් විකාශය කිරීම සම්බන්ධයෙන් පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලය විරෝධය පළ කර ඇත.
ඒ අනුව ඔවුන් ස්කයි නාලිකාවට එරෙහිව නිල පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.
ස්කයි නාලිකාව එම පැමිණිල්ල ලැබුණු බව පිළිගෙන ඇතත්, ඒ සම්බන්ධයෙන් මෙතෙක් නිල ප්‍රතිචාරයක් නිකුත් කර නොමැත.
එංගලන්ත සහ වේල්ස් ක්‍රිකට් පාලක මණ්ඩලයද මෙම සම්මුඛ සාකච්ඡාව සම්බන්ධයෙන් පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලය ඉදිරිපත් කර ඇති විරෝධය පිළිබඳව දැනුවත් කර තිබේ. කෙසේ වෙතත්, එංගලන්ත සහ වේල්ස් ක්‍රිකට් පාලක මණ්ඩලයද මේ සම්බන්ධයෙන් මෙතෙක් ප්‍රතිචාරයක් දක්වා නොමැත.
සම්මුඛ සාකච්ඡාව විකාශය කළහොත් දිවා ආහාරයෙන් පසු පිටියට නොඑන බවට පාකිස්තානයෙන් තර්ජනයක්?
ඊඑස්පීඑන් ක්‍රික්ඉන්ෆෝ වාර්තා කර ඇත්තේ සම්මුඛ සාකච්ඡාව විකාශය කළහොත් පළමු දිනයේ දිවා ආහාරයෙන් පසු පාකිස්තාන ක්‍රීඩකයන් පිටියට නොපැමිණෙන බවට පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලය අනතුරු අඟවා තිබූ බවයි.
පසුව ස්කයි නාලිකාව එම සම්මුඛ සාකච්ඡාවේ විනාඩි 18ක කොටසක් නිකුත් කර තිබේ. කෙසේ වෙතත්, එය නිකුත් කරන අවස්ථාව වන විට පාකිස්තාන ක්‍රීඩකයන් දෙවැනි සැසිය සඳහා ක්‍රීඩාංගණය වෙත යමින් සිටි බව සඳහන් වේ.
කෙසේ වෙතත්, විවිධ මූලාශ්‍ර ඔස්සේ පසුව පළවූ වාර්තාවල සඳහන් වූයේ සම්මුඛ සාකච්ඡාව විකාශය කළහොත් එයට විරෝධය පළ කරමින් ක්‍රීඩකයන් පිටියට නොපැමිණෙන බවට පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලය සැබවින්ම අනතුරු අඟවා තිබූ බවයි.
ඉම්රාන් ඛාන්ගේ පුතුන් ස්කයි නාලිකාවට පැවසුවේ කුමක්ද?
බ්‍රහස්පතින්දා ස්කයි නාලිකාවේ මයිකල් ඇතර්ටන් සමඟ පැවති සම්මුඛ සාකච්ඡාවේදී, ලෝක කුසලානය දිනූ පාකිස්තාන හිටපු නායක ඉම්රාන් ඛාන්ගේ පුතුන් දෙදෙනා ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් තමන් තුළ පවතින දැඩි කනස්සල්ල ප්‍රකාශ කළහ.
සිරගතව සිටින ඉම්රාන් ඛාන්ගේ සෞඛ්‍ය තත්ත්වය පසුගිය මාස කිහිපය තුළ සැලකිය යුතු ලෙස පිරිහී ඇති බව ඔවුහු පැවසූහ.
සම්මුඛ සාකච්ඡාවේ එක් අවස්ථාවකදී කාසිම් ඛාන් මයිකල් ඇතර්ටන්ට පැවසුවේ,
“මේ මොහොතේ අපට ඉතා වැදගත් වන්නේ ඔහුට නිසි ප්‍රතිකාර ලැබීමයි. අපි ඔහුව දුටු අවස්ථාවේදී ඔහුගේ ඇසේ ඇතිවී තිබූ තත්ත්වය හේතුවෙන් ඇසට ආවරණයක් දමාගෙන සිටියා. ඔහු පැහැදිලිවම දැඩි මානසික පීඩනයකට පත්ව සිටින බව පෙනුණා. ඒක සිතාගැනීමට පවා ඉතා අපහසු දෙයක්.
“මොකද ඔහු කියන්නේ ඉතා සන්සුන් සහ දැඩි විශ්වාසයකින් යුතු පුද්ගලයෙකු ලෙස හැමවිටම පෙනී සිටින කෙනෙක්. ඒ නිසා ඔහු මානසික පීඩනයකින්, කනස්සල්ලෙන් හෝ නොසන්සුන්තාවකින් සිටින බව අසන්න ලැබීම ඉතා අසීරුයි,” යනුවෙනි.
මෙම වසරේ මුල් භාගයේදී ජාත්‍යන්තර ක්‍රිකට් නායකයන් ලෙස කටයුතු කළ හිටපු ක්‍රීඩකයන් 14 දෙනෙකු පාකිස්තාන රජයට ලිපියක් යවමින් සිරගතව සිටින ඉම්රාන් ඛාන්ගේ තත්ත්වය පිළිබඳව තම කනස්සල්ල පළ කර තිබිණි. ඔහුට වඩාත් යහපත් ප්‍රතිකාර ලැබේවායිද ඔවුහු ප්‍රාර්ථනා කළහ.
එම ලිපියට අත්සන් කළ පුද්ගලයන් අතර මයිකල් ඇතර්ටන්ට අමතරව ඉන්දියාවේ හිටපු නායකයන් වන කපිල් දේව් සහ සුනිල් ගවස්කාර් මෙන්ම ඕස්ට්‍රේලියාවේ හිටපු නායකයන් වන ග්‍රෙග් චැපල්, ඉයන් චැපල් සහ ඇලන් බෝඩර්ද සිටියහ.
ඉම්රාන් ඛාන් සිරගතව සිටින්නේ ඇයි?
1992 ලෝක කුසලානය දිනූ පාකිස්තාන කණ්ඩායමේ නායකයා වූ ඉම්රාන් ඛාන් 2022දී පාකිස්තානයේ අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉවත් කිරීමෙන් පසු නීතිමය ගැටලු රැසකට මුහුණ දී සිටී.
ඔහුට එරෙහිව විවිධ අපරාධ චෝදනා එල්ල වූ අතර, 2023 මැයි මාසයේදී ඔහු අත්අඩංගුවට ගනු ලැබීය.
එතැන් සිට මේ දක්වා ඉම්රාන් ඛාන් වසර තුනකට වැඩි කාලයක් සිරගතව සිටී.
2026 ජනවාරි මාසයේදී ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය තවදුරටත් පිරිහී ඇති අතර, ඔහුගේ දකුණු ඇසේ පෙනීම සියයට 15ක් පමණක් ඉතිරිව ඇති බවට වාර්තා පළ විය.
වඩාත් මෑතකදී ඔහු ඉස්ලාමාබාද් නගරයේ රෝහලකදී වෛද්‍ය පරීක්ෂණයකටද භාජනය වී තිබේ.


