ඉන්දියා ශ්‍රී ලංකා සබඳතා ශක්තිමත් කිරීම සඳහා මහේෂිනී කොලොන්නේගෙන් ප්‍රමුඛතා 6ක්

ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් මහේෂිනී කොලොන්නේ මහත්මිය, ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර සබඳතාවල වත්මන් තත්ත්වය, අභියෝග සහ අනාගත දිශානතිය පිළිබඳව ඉන්දියාවේ ජාතික ආරක්ෂක විද්‍යාලයේ (NDC) 66 වැනි පාඨමාලාව අමතා කරුණු ඉදිරිපත් කර තිබේ.

අඟහරුවාදා පැවති මෙම දේශනයට “ඉන්දියා-ශ්‍රී ලංකා ද්විපාර්ශ්වික සබඳතා: නිර්ණායක, තත්ත්වය, අවස්ථා, අභියෝග සහ ඉදිරි මාවත” යන මාතෘකාව යටතේ මහ කොමසාරිස්වරිය සහභාගී වී ඇත.

ඉන්දියාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් 122 දෙනෙකු සහ ශ්‍රී ලංකාව ඇතුළු විදේශ රටවල නිලධාරීන් 41 දෙනෙකු ඇතුළුව නිලධාරීන් 163 දෙනෙකු මෙම පාඨමාලාවට සහභාගී වී තිබේ.

ඉතිහාසය, ස්වෛරීභාවය, ආරක්ෂාව, වෙළෙඳ හා ආයෝජන, සම්බන්ධතා, බලශක්තිය, ආරක්ෂක සහයෝගීතාව, සාගර සහයෝගීතාව සහ ජනතාව අතර සබඳතා ඇතුළු ක්ෂේත්‍ර රැසක් පිළිබඳව කොලොන්නේ මහත්මිය සිය දේශනයේදී අවධානය යොමු කළාය.

මෑත කාලීන ඉහළ පෙළේ ද්විපාර්ශ්වික සංචාර පිළිබඳව සඳහන් කරමින් ඇය, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා 2024 දෙසැම්බර් මාසයේදී ඉන්දියාවේ සිදුකළ සංචාරය, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා 2025 අප්‍රේල් මාසයේදී ශ්‍රී ලංකාවේ සිදුකළ සංචාරය සහ මෙම වසරේ අප්‍රේල් මාසයේදී ඉන්දීය උප ජනාධිපතිවරයෙකු ශ්‍රී ලංකාවට සිදුකළ පළමු ද්විපාර්ශ්වික සංචාරය පිළිබඳවද සඳහන් කළාය.

2022 වසරේ ශ්‍රී ලංකාව මුහුණ දුන් ආර්ථික අර්බුදයේදී ඉන්දියාව ලබාදුන් සහාය මෙන්ම, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන සඳහා මූල්‍ය සහතික ලබාදුන් පළමු ද්විපාර්ශ්වික ණයහිමියා ලෙස ඉන්දියාව ඉටු කළ කාර්යභාරයද ඇය අවධාරණය කළාය.

ආරක්ෂක සහයෝගීතාව පිළිබඳව අදහස් දක්වමින් කොලොන්නේ මහත්මිය අවධාරණය කළේ, ඉන්දියාවේ ආරක්ෂක අවශ්‍යතාවලට තර්ජනයක් වන ආකාරයෙන් ශ්‍රී ලංකා භූමිය භාවිත කිරීමට ඉඩ නොදෙන බවට ශ්‍රී ලංකාව ලබාදී ඇති සහතිකය අඛණ්ඩව පවතින බවයි.

එමෙන්ම ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවය, භෞමික අඛණ්ඩතාව සහ උපායමාර්ගික ස්වාධීනත්වය ආරක්ෂා කිරීමේ වැදගත්කමද ඇය අවධාරණය කළාය.

ඉන්දියා-ශ්‍රී ලංකා සබඳතාවය “අසමාන රාජ්‍යයන් දෙකක් අතර හවුල්කාරීත්වයක් වුවත්, අසමාන අවශ්‍යතා අතර හවුල්කාරීත්වයක් නොවේ” යනුවෙන් විස්තර කළ ඇය, ඉන්දියානු සාගර කලාපයේ සාමය, ආරක්ෂාව, ස්ථාවරත්වය සහ සමෘද්ධිය පවත්වා ගැනීම දෙරටේම පොදු අවශ්‍යතාවක් බව පෙන්වා දුන්නාය.

ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා ප්‍රමුඛතා හයක්ද ඇය හඳුනාගත්තාය. ඒවා නම් අන්‍යෝන්‍ය විශ්වාසය ගොඩනැගීම, හවුල් සමෘද්ධිය ප්‍රවර්ධනය කිරීම, සම්බන්ධතා වේගවත් කිරීම, ඒකාබද්ධ සාගර ආරක්ෂක හවුල්කාරීත්වයක් වර්ධනය කිරීම, ජනතාව වෙනුවෙන් ආයෝජනය කිරීම සහ පුළුල් ඉන්දියානු සාගර කලාපය තුළ සහයෝගීතාව පුළුල් කිරීම ය.

දේශනයෙන් අනතුරුව ප්‍රශ්න හා පිළිතුරු සැසියක්ද පැවැත්වුණු අතර, අගෝස්තු 31 සිට සැප්තැම්බර් 2 දක්වා අධ්‍යයන සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත ජාතික ආරක්ෂක විද්‍යාල නිලධාරීන්ගේ නියෝජිත පිරිසක්ද කොලොන්නේ මහත්මිය හමුවී තිබේ.

1960 වසරේදී ස්ථාපිත කරන ලද ඉන්දියාවේ ජාතික ආරක්ෂක විද්‍යාලය ජාතික ආරක්ෂාව සහ උපායමාර්ග පිළිබඳ අධ්‍යයනය සඳහා ඉන්දියාවේ ඉහළම ආයතනය ලෙස සැලකේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *