Tuesday, 3 November 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

ආසියා-පැසිෆික් විකාශන සංගමයේ නව උප සභාපතිවරයා ලෙස කැපිටල් මහරාජා සමූහයේ අධ්‍යක්ෂ ශෙවාන් ඩැනියෙල් මහතා තේරී පත්වෙයි

බෙදාගන්න
XWhatsAppTelegramඅදහස්

කැපිටල් මහරාජා සමූහ ව්‍යාපාරයේ (Capital Maharaja Group) සමූහ අධ්‍යක්ෂ ශෙවාන් ඩැනියෙල් (Chevaan Daniel) මහතා ආසියා-පැසිෆික් විකාශන සංගමයේ (ABU) නව උප සභාපතිවරයා ලෙස තේරී පත්ව ඇති අතර, එම උසස් ජාත්‍යන්තර තනතුරට පත්වූ ප්‍රථම ශ්‍රී ලාංකිකයා ලෙස ඔහු ඓතිහාසික වාර්තාවක් පිහිටුවා තිබේ.

ලොව විශාලතම සහ බලගතුම විකාශන සංවිධානයක ඉහළ නායකත්ව තනතුරකට මෙරට මාධ්‍ය ප්‍රධානියෙකු පත්වීම, ශ්‍රී ලංකාවේ විද්‍යුත් විකාශන ක්ෂේත්‍රය ලැබූ සුවිශේෂී ජාත්‍යන්තර ජයග්‍රහණයක් ලෙස සැලකේ.

ආසියා-පැසිෆික් විකාශන සංගමයේ 63 වැනි වාර්ෂික මහා මණ්ඩල සැසිවාරය සහ ඊට සමගාමී ඉහළ පෙළේ සාකච්ඡා මාලාව ඓතිහාසිකව ප්‍රථම වරට කොළඹදී පැවැත්වෙන මොහොතක මෙම පත්වීම සිදුවීම විශේෂත්වයකි.

කොළඹදී පැවැත්වෙන 63 වැනි ABU මහා සමුළුව

ඔක්තෝබර් 30 වැනිදා සිට නොවැම්බර් 03 වැනිදා දක්වා කොළඹ ‘සිනමන් ලයිෆ් – සිටි ඔෆ් ඩ්‍රීම්ස්’ (Cinnamon Life, City of Dreams) පරිශ්‍රයේදී පැවැත්වෙන මෙම ජාත්‍යන්තර සමුළුව සඳහා ආසියා-පැසිෆික් කලාපය ඇතුළු ලොව පුරා විකාශන ආයතන ප්‍රධානීහු, ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදීහු සහ වෘත්තිකයෝ විශාල පිරිසක් එක්ව සිටිති.

මෙම ජාත්‍යන්තර සමුළුවේ සත්කාරකත්වය දරනු ලබන්නේ කැපිටල් මහරාජා සමූහයට අයත් මහරාජා මාධ්‍ය ජාලය (Maharaja Media Network) විසිනි. “සාමය සහ මානව වර්ගයා උදෙසා මාධ්‍ය භාවිතය: සත්‍යය, විශ්වාසය සහ පරිවර්තනය” (Media for Peace and Humanity: Truth, Trust and Transformation) යන්න මෙවර සමුළුවේ ප්‍රධාන තේමාවයි.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය නොවැම්බර් 01 වැනිදා මෙහි නිල සමාරම්භක උළෙල පැවැත්විණි.

ABU සංවිධානය සහ සාකච්ඡාවට බඳුන්වන කරුණු

1964 වසරේදී ආරම්භ කරන ලද ආසියා-පැසිෆික් විකාශන සංගමයේ (ABU) ප්‍රධාන මූලස්ථානය මැලේසියාවේ ක්වාලාලම්පූර් නුවර පිහිටා ඇත. ලොව රටවල් 66ක් පුරා විහිදුණු ප්‍රමුඛ පෙළේ විද්‍යුත් මාධ්‍ය හා විකාශන ආයතන 225ක් නියෝජනය කරන මෙම සංගමය, විකාශන ක්ෂේත්‍රයේ සහයෝගීතාව, නවීන තාක්ෂණික සංවර්ධනය සහ වෘත්තීය ප්‍රමිතීන් ආරක්ෂා කිරීම වෙනුවෙන් පුරෝගාමී මෙහෙවරක නිරත වේ.

කොළඹදී පැවැත්වෙන මෙම සැසිවාරයේදී කෘතිම බුද්ධිය (AI), ඩිජිටල් පරිවර්තනය, සයිබර් ආරක්ෂාව, නවීන විකාශන තාක්ෂණයන් මෙන්ම මාධ්‍ය කෙරෙහි මහජන විශ්වාසය තහවුරු කිරීම ඇතුළු ගෝලීය මාධ්‍ය ක්ෂේත්‍රය මුහුණ දෙන ප්‍රධාන අභියෝග රැසක් පිළිබඳව ගැඹුරින් සාකච්ඡා කෙරේ.

ඔබේ අදහස