ආසියාවේ හොඳම වෙරළ තීරය අරුගම්බේට! ශ්‍රී ලංකාවේ වෙරළ 4ක් හොඳම 20 අතරට

2026 වසරේ ආසියාවේ හොඳම වෙරළ තීරය ලෙස ශ්‍රී ලංකාවේ අරුගම්බේ වෙරළ තීරය නම් කර තිබේ. ඒ, Condé Nast Traveller සඟරාවේ පාඨකයන්ගේ තේරීම් සම්මාන උළෙලේදීය. එම ශ්‍රේණිගත කිරීමේදී ශ්‍රී ලංකාවේ වෙරළ තීර හතරක් ආසියාවේ හොඳම වෙරළ තීර 20 අතරට එක්වීමද විශේෂත්වයකි.

ශ්‍රී ලංකාවේ නැගෙනහිර වෙරළ තීරයේ පිහිටි ජනප්‍රිය සර්ෆින් ක්‍රීඩා ගමනාන්තයක් වන අරුගම්බේ පළමු ස්ථානය දිනාගෙන ඇති අතර, තායිලන්තයේ රයිලේ වෙරළ තීරය දෙවැනි ස්ථානයටත් මැලේසියාවේ කොරල් වෙරළ තීරය තෙවැනි ස්ථානයටත් පත්ව තිබේ.

මෙම ශ්‍රේණිගත කිරීමේදී ශ්‍රී ලංකාවේ තවත් වෙරළ තීර තුනක්ද ස්ථාන දිනාගෙන ඇත. ඒ අනුව බෙන්තොට වෙරළ තීරය නවවැනි ස්ථානයටත්, තංගල්ල වෙරළ තීරය 14 වැනි ස්ථානයටත්, මීගමුව වෙරළ තීරය 19 වැනි ස්ථානයටත් පත්ව තිබේ.

මෙම ඇගයීම මඟින් වෙරළ සංචාරක ගමනාන්තයක් ලෙස ශ්‍රී ලංකාව සතු ආකර්ෂණය තවදුරටත් ඉස්මතු වන අතර, දිවයිනේ විවිධ වෙරළබඩ ප්‍රදේශ නියෝජනය කරන වෙරළ තීර හතරක් මෙලෙස ශ්‍රේණිගත වීම කැපී පෙනේ.

2026 වසර සඳහා ආසියාවේ හොඳම වෙරළ තීර පහ මෙසේය.

  1. අරුගම්බේ වෙරළ තීරය, ශ්‍රී ලංකාව

  2. රයිලේ වෙරළ තීරය, තායිලන්තය

  3. කොරල් වෙරළ තීරය, මැලේසියාව

  4. බොරකේ වෙරළ තීරය, පිලිපීනය

  5. නුසා දුවා වෙරළ තීරය, ඉන්දුනීසියාව

Condé Nast Traveller පාඨකයන් විසින් ඉදිරිපත් කරන ලද ඇගයීම් මත මෙම පාඨක තේරීම් සම්මාන ශ්‍රේණිගත කිරීම සකස් කර ඇති අතර, එමඟින් සංචාරකයන්ගේ අත්දැකීම් සහ කැමැත්ත පිළිබිඹු වේ.

ආසියානු ශ්‍රේණිගත කිරීමේදී අරුගම්බේ වෙරළ තීරය ලකුණු 98.84ක් ලබාගෙන ඇති අතර, එය ඉහළම ලකුණු සංඛ්‍යාවයි. රයිලේ වෙරළ තීරය ලකුණු 94.44ක්ද, කොරල් වෙරළ තීරය ලකුණු 93.33ක්ද ලබාගෙන තිබේ.

බෙන්තොට වෙරළ තීරයට ලකුණු 88.33ක්ද, තංගල්ල වෙරළ තීරයට ලකුණු 83.33ක්ද, මීගමුව වෙරළ තීරයට ලකුණු 78.92ක්ද හිමිව ඇත.

2026 වසරේ සම්මාන ප්‍රතිඵල ඔක්තෝබර් 6 වැනිදා ප්‍රකාශයට පත් කර ඇති අතර, මෙය එම වාර්ෂික සමීක්ෂණයේ 29 වැනි සංස්කරණයයි. ශ්‍රේණිගත කිරීම සකස් කර ඇත්තේ සඟරාවේ එක්සත් රාජධානියේ පාඨකයන් ලබාදුන් ඡන්ද මතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *