ආදිවාසී ජනතාවගේ ජීවනෝපාය කටයුතු නියාමනයට නව රෙගුලාසි

නීතිය, සම්ප්‍රදාය, චාරිත්‍ර සහ සාම්ප්‍රදායික භාවිතයන් යටතේ පිළිගැනෙන ආදිවාසී ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කරමින්, නියමිත ප්‍රදේශවල ඔවුන්ගේ ජීවනෝපාය කටයුතු නියාමනය කිරීම සඳහා විධිමත් ක්‍රමවේදයක් ස්ථාපිත කිරීමට අදාළ නව රෙගුලාසි සඳහා කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබාදී තිබේ.

වන සත්ත්ව හා වෘක්ෂලතා (නියමිත ප්‍රදේශවල ආදිවාසී ජනතාවගේ ක්‍රියාකාරකම් නියාමනය කිරීමේ) රෙගුලාසි ලෙස හඳුන්වාදීමට නියමිත මෙම රෙගුලාසි වන සත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනතේ (469 වන පරිච්ඡේදය) විධිවිධාන යටතේ සකස් කර ඇත.

ලියාපදිංචි ආදිවාසී ප්‍රජාවන්ට අයත් පුද්ගලයන්ට අදාළ නියමිත ප්‍රදේශවල හඳුනාගත් ක්‍රියාකාරකම්වල නිරත වීමට මෙම රෙගුලාසි මගින් අවසර හිමිවන අතර, එම කටයුතු පවතින නීතිවලට අනුකූලව සිදුකිරීම සහතික කිරීමටද විධිවිධාන සලසා තිබේ.

ආදිවාසී ප්‍රජාවන්ගේ පැවැත්මට සහ ඔවුන්ගේ සාම්ප්‍රදායික ජීවනෝපායන් පවත්වාගෙන යාමට මූලික වන බව සැලකෙන රජයේ ඉඩම් සම්බන්ධ ඔවුන්ගේ අයිතිවාසිකම් සඳහා වැඩි පිළිගැනීමක් සහ ආරක්ෂාවක් ලබාදීම මෙම පියවරේ අරමුණයි.

මෙම රෙගුලාසි රජයේ ගැසට් පත්‍රයේ ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා පරිසර අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවකට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *