අවසන් සටන අහිමිවීම ගැන පාපන්දු සභාපති ජනතාවගෙන් සමාව ඉල්ලයි

දකුණු ආසියානු පාපන්දු සම්මේලන (SAFF) ශූරතාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීමේ අවස්ථාව අහිමි වීම පිළිබඳව ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ (FFSL) සභාපති ජස්වර් උමර් මහතා මෙරට පාපන්දු ලෝලීන්ගෙන් සහ සමස්ත මහජනතාවගෙන් සමාව අයැද සිටි අතර, ඉදිරි මාස අට ඇතුළත ජාතික කණ්ඩායම වඩාත් ශක්තිමත්ව යළි ගොඩනගන බවට සහතික විය.
නිමා වූ තරගාවලිය පිළිබඳව අදහස් දක්වමින් සභාපතිවරයා පෙන්වා දුන්නේ, බංග්ලාදේශයට එරෙහිව පැවති තරගයේදී කණ්ඩායම යම් පසුබෑමකට ලක්වුවද, පසුගිය කාලය තුළ ශ්‍රී ලංකා පාපන්දු පිල කැපී පෙනෙන ප්‍රගතියක් අත්කරගෙන ඇති බවයි.
වසර 15කට ආසන්න කාලයක් තිස්සේ FIFA ලෝක ශ්‍රේණිගත කිරීම්වල 200 වැනි ස්ථානයෙන් පහළ රැඳී සිටි ශ්‍රී ලංකාව, මේ වන විට 207 වැනි ස්ථානයේ සිට 184 වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණීම සුවිශේෂී ජයග්‍රහණයක් බව ඔහු සිහිපත් කළේය. ඉහළ ශ්‍රේණිගත කිරීම්වල සිටින ප්‍රබල කණ්ඩායම්වලට එරෙහිව ලැබූ ජයග්‍රහණ සහ සමස්ත කණ්ඩායමේ ප්‍රගතිය හුදෙක් එක් පරාජයක් නිසා අවතක්සේරු නොකළ යුතු බවත්, ජයග්‍රහණ මෙන්ම පසුබෑම් හමුවේදීත් කණ්ඩායම සමඟ එක්සත්ව රැඳී සිටින ලෙසත් හෙතෙම ජනතාවගෙන් ඉල්ලා සිටියේය.
මීළඟ SAFF ශූරතාව ශ්‍රී ලංකාවේදී?
අනාගත සැලසුම් පිළිබඳව හෙළිදරව්වක් සිදුකරමින් ජස්වර් උමර් මහතා ප්‍රකාශ කළේ, ඉදිරි මාස අටක පමණ කාලයකින් පසු පැවැත්වෙන මීළඟ SAFF පාපන්දු ශූරතාවලියේ සත්කාරකත්වය ශ්‍රී ලංකාව තුළ පැවැත්වීම සඳහා මේ වන විටත් සාකච්ඡා ආරම්භ කර ඇති බවයි. එය මෙරට ක්‍රීඩාලෝලීන්ට සහ පාපන්දු ක්ෂේත්රයට අනගි අවස්ථාවක් වනු ඇතැයි ඔහු පැවසීය.
මෙරට පාපන්දු ක්‍රීඩාව කෙරෙහි ජාතික උනන්දුව යළි පණගැන්වීමට සහය වූ සියලුම මාධ්‍ය ආයතනවලට සහ මාධ්‍යවේදීන්ට සිය ස්තූතිය පුදකළ සභාපතිවරයා, පවතින අඩුපාඩු නිවැරදි කරගනිමින්, ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ ඉදිරියට ගෙන යමින් ශ්‍රී ලංකා පාපන්දුවේ අභිමානය යළි ගොඩනැගීමට තමන් ඇපකැප වී සිටින බව වැඩිදුරටත් අවධාරණය කළේය.




