අධි ආරක්ෂිත කලාප ප්‍රකාශනය සම්බන්ධයෙන් ලිබරල් තරුණ ව්‍යාපාරයේ ප්‍රකාශයක් නිකුත් කරයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් කොළඹ සහ ශ්‍රී ජයවර්ධනපුර ප්‍රදේශ කිහිපයක් අධි ආරක්ෂිත කලාප ලෙස ප්‍රකාශයට පත් කිරීමට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ගයක් ආරම්භ කරන බව ලිබරල් තරුණ ව්‍යාපාරය පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් ලිබරල් තරුණ ව්‍යාපාරය කියා සිටියේ මෙම ප්‍රකාශය ශ්‍රී ලංකාවේ පුරවැසියන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කරන බවයි.

එමගින් ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ශ්‍රී ලාංකික පුරවැසියාට ලබා දී ඇති මූලික අයිතිවාසිකම් තහවුරු කිරීම සඳහා නීතිමය ක්‍රියාමාර්ගයක් ආරම්භ කරන බව එම ව්‍යාපාරය වැඩිදුරටත් පැවසීය.

සම්පූර්ණ ප්රකාශය:

1955 අංක 32 දරන නිල රහස් පනතේ 2 වැනි වගන්තියට අනුව ශ්‍රී ලංකාවේ ජනාධිපති සහ ආරක්ෂක අමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් කොළඹ සහ ශ්‍රී ජයවර්ධනපුර ප්‍රදේශ කිහිපයක් අධි ආරක්‍ෂිත කලාප ලෙස ප්‍රකාශයට පත් කර ඇත.

එම ක්‍රියාව මගින් ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් ශ්‍රී ලාංකීය පුරවැසියන්ගේ සංචරණ නිදහස, සාමකාමීව රැස්වීමේ නිදහස, අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස වැනි මූලික අයිතිවාසිකම් රැසක් උල්ලංඝනය වන බව ලිබරල් තරුණ ව්‍යාපාරයේ අවබෝධයයි.

ඊට අමතරව, ලිබරල් තරුණ ව්‍යාපාරය දැඩි ලෙස විශ්වාස කරන සහ ආරක්ෂා කිරීමට භාර ගන්නා නිදහස, පුද්ගලවාදය සහ නීතියේ ආධිපත්‍යය යන ලිබරල් වටිනාකම් උල්ලංඝනය කරන බව ලිබරල් තරුණ ව්‍යාපාරය අවධාරණය කරයි.

ඒ අනුව ජනාධිපතිතුමාගේ සහ ආරක්ෂක අමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ මෙම ක්‍රියාව පිළිබඳව අපගේ බලවත් කණගාටුව ප්‍රකාශ කරමු. එපමණක් නොව, ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ශ්‍රී ලාංකික පුරවැසියාට ලබා දී ඇති මූලික අයිතිවාසිකම් තහවුරු කිරීම සඳහා නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට ලිබරල් තරුණ ව්‍යාපාරය ලෙස අපි අපේක්ෂා කරමු.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *