නුවරඑළිය ග්‍රෙගරි වැවේ ජෙට් ස්කී යාත්‍රාවක් පෙරළීමෙන් දියේ ගිලීමේ අවදානමකට ලක්ව සිටි වයස අවුරුදු 11 සහ 13 වන දරුවන් දෙදෙනෙකු ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් බේරාගෙන තිබේ.
මෙම අනතුර අගෝස්තු 16 වැනිදා දරුවන් දෙදෙනා ග්‍රෙගරි වැවේ ජල ක්‍රීඩාවල නිරතව සිටියදී සිදුව ඇති බව නාවික හමුදාව සඳහන් කළේය.
ග්‍රෙගරි වැවේ ජීවිතාරක්ෂක රාජකාරි සඳහා යොදවා සිටි ශ්‍රී ලංකා නාවික හමුදාවේ වේගවත් ප්‍රතිචාර සහ ගලවාගැනීමේ ඒකකයේ (4RU) නිලධාරීන් අනතුර දැක වහාම ක්‍රියාත්මක වී තිබේ.
දියේ ගිලීමේ අවදානමකට ලක්ව සිටි දරුවන් දෙදෙනා නාවික හමුදා නිලධාරීන් විසින් ආරක්ෂිතව ගොඩට රැගෙන ඒමට සමත්ව ඇත.
බේරාගත් දරුවන් දෙදෙනා මිනුවන්ගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවන් බව නාවික හමුදාව සඳහන් කළේය.
ගලවාගැනීමෙන් අනතුරුව දරුවන් දෙදෙනා වැඩිදුර කටයුතු සඳහා නුවරඑළිය පොලිසිය වෙත භාරදී තිබේ.


