එක්දින ලෝක කුසලාන ක්‍රිකට් ඉතිහාසයේ පාකිස්තානයට එරෙහි පළමු ජය සොයා ශ්‍රී ලංකාව හෙට තරග බිමට පිවිසීමට නියමිතය.
අද (10) පැවැත්වෙන තරගය සඳහා මහීෂ් තීක්ෂණ සුදුසු ශාරිරික යෝග්‍යතාවකින් පසුවන බව ශ්‍රී ලංකා සහාය පුහුුණුකරු නවීඩ් නවාස්මාධ්ය හමුවේදී සඳහන් කළේය.
ශ්‍රී ලංකා පිලේ සහාය පුහුණුකරු නවීඩ් නවාස්,
“මම හිතනවා තීක්ෂණ හෙට තරගයට ක්‍රීඩා කරයි කියලා. වෛද්‍ය උපදෙස්වලට පිටුපාලා අපිට පළමු තරගයේදී ඔහු සම්බන්ධයෙන් අවදානමක් ගන්න ඕන වුණේ නැහැ. හෙට තරගයට ඔහු ක්‍රීඩා කරයි කියලා හිතනවා.”
ශ්‍රී ලංකාව සහ පාකිස්තානය එක්දින ලෝක කුසලාන තරග බිමේ අවස්ථා 8කදී එකිනෙකා මුණගැසී ඇති අතර ඉන් අවස්ථා හතකදීම පාකිස්තානය හමුවේ ශ්‍රී ලංකාව පරාජයට පත්ව තිබේ.
2019 ලෝක කුසලානයේ ශ්‍රී ලංකා – පාකිස්තානය අතර තරගය පමණක් වර්ෂාව හේතුවෙන් තීරණයකින් තොරව අවසන් වුණි.
1975, 1983, 1987, 1992 සහ 2011 යන ලෝක කුසලානවලදී අනුර තෙන්නකෝන්, දුලිප් මෙන්ඩිස්, අරවින්ද සිල්වා සහ කුමාර් සංගක්කාරගේ නායකත්වය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම පාකිස්තානය හමුවේ පරාජයට පත්ව තිබේ.
ඒ අනුව දසුන් ශානක ප්රමුඛ ශ්‍රී ලංකා පිල හෙට තරගයට පිවිසෙන්නේ එක්දින ලෝක කුසලාන තරගාවලියකදී පාකිස්තානය පළමුවරට පරාජය කිරීමේ අරමුණින්ය.
මෙවර ලෝක කුසලානයේදී ශ්‍රී ලංකා පිල හෙට සහභාගි වන්නේ සිය දෙවන තරගයටය.
පළමු තරගයේදී දකුණු අප්‍රිකාව හමුවේ පරාජය වූ ශ්‍රී ලංකාව ප්‍රසාද ලකුණු සටහනේ 9 වන ස්ථානයේ පසුවන අතර පාකිස්තානය සිය පළමු තරගයේදී නෙදර්ලන්තය පරාජය කරමින් ප්‍රසාද ලකුණු 2ක් ලබා තුන්වන ස්ථානයේ පසුවෙයි.