මාස හයක අතුරු නියෝගයක් පවතින බැවින් විදුහල්පතිවරුන් සහ ගුරුවරුන් පාසල්වලට බඳවා ගැනීමේ හැකියාවක් නොමැති බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා ඊයේ පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.
මේ අතුරු නියෝගය නිසා ළමයින්ට අසාධාරණයක් වෙලා තියෙනවා, දරුවන්ට වෙච්ච මේ අසාධාරණය ගැන කවුරුත් කතා කරන්නේ නැහැ. අමාත්‍යවරයා මේ බව පැවසුවේ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීනී රෝහිණී කුමාරි විජේරත්න නැගූ ප්‍රශ්නයට පිළිතුරු ලබාදෙමින්.
අතුරු නියෝග සඳහා කාල සීමාවක් තිබිය යුතු බවත් සිවිල් නඩු විධාන සංග්‍රහය සංශෝධනය කර එය නිවැරදි කළ යුතු බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.
අධිකරණ අමාත්‍යවරයා අතුරු නියෝගයක වලංගු කාලසීමාව තීරණය කරමින් සිවිල් නඩු විධාන සංග්‍රහය සංශෝධනය කරනවා නම් ඉතා හොඳයි. ඒ නිසා මම අධිකරණ අමාත්‍යතුමාගෙන් ඉල්ලා සිටින්නේ ඇතැම් අය අතුරු නියෝග දින නියමයක් නොමැතිව දීර්ඝ කිරීමට උත්සාහ කරන නිසයි. ගුරුවරුන් හා විදුහල්පතිවරුන් බඳවා ගැනීමට එරෙහි නඩු ඉඩම් නඩු මෙන් නොවන බැවින් දරුවන්ගේ අධ්‍යාපන අයිතිය උල්ලංඝනය කිරීමේ බරපතළකම මෙම නඩුව ගොනු කළ පෙත්සම්කරුවන්ට නොතේරීම කණගාටුවට කරුණක් බව ඔහු පැවසීය.
ගුරු පුරප්පාඩු 32,000ක් පවතින බවත් මීට වසර 3කට පෙර සංවර්ධන නිලධාරීන් රාජ්‍ය සේවයට බඳවා ගැනීමේදී කිසිදු විනිවිදභාවයකින් තොරව පාසල්වලට 22,000ක් බඳවා ගත් බවත් ඇමැතිවරයා කීය. නිසි ක්‍රමවේදයක් නොමැතිව එම බඳවා ගැනීම් සිදු කර ඇත.කෙසේ වෙතත් විධිමත් පුහුණුවකින් පසු මෙම පිරිසට නිසි ගුරු අධ්‍යාපනයක් ලබාදීමට පියවර ගත් අවස්ථාවේදී පිරිසක් අධිකරණයට ගොස් නඩු පැවරුවා. කෙසේ වෙතත්, දරුවන්ට මෙය අහිමි වී ඇත. මාස 6කට එම පත්කිරීම වළක්වාලමින් අධිකරණය විසින් අතුරු නියෝගයක් ලබාදී ඇති බවත් ඇතැම් පිරිස් එම අතුරු නියෝග දින නියමයක් නොමැතිව දික්කිරීමට උත්සාහ කරන බවත් ඔහු පැවසීය.
විශ්‍රාම ගොස් සේවය හැර ගිය ගුරුවරුන් වෙනුවට උපාධිධාරීන් පත් කිරීමට ඉදිරි සති දෙක ඇතුළත පළාත් සභාවලට බලය ලබා දෙන බවද ඔහු පැවසීය.
ගුරු සේවා රෙගුලාසිවලට අනුව අධිකාරිය පළාත් සභා වෙත පැවරෙන බවත් ඒ සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය නුදුරේදීම ලබා ගන්නා බවත් අමාත්‍යවරයා පැවසීය.
මධ්‍යම පළාතට විද්‍යා, තාක්ෂණ, ඉංග්‍රීසි විෂයයන් ඉගැන්වීම සඳහා උපාධිධාරීන් 700ක් බඳවා ගැනීමට ගැසට් කර ඇති බවත් කුමන බාධා පැමිණියද දරුවන්ට ප්‍රමාණවත් ගුරුවරුන් ප්‍රමාණයක් ලබාදීමට කටයුතු කරන බවත් ඇමැතිවරයා පැවැසීය.
අධිකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පැවසුවේ, අධිකරණයෙන් ලබා දෙන අතුරු නියෝග පිළිබඳ ප්‍රතිපත්තියක් අවශ්‍ය නම් ඒ පිළිබඳව සාකච්ඡා කර තීරණයක් ගත හැකි බවයි.
අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ අතුරු නියෝගවලට අදාළව සිවිල් නඩු විධාන සංග්‍රහය සංශෝධනය කරන ලෙස අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා කළ ඉල්ලීමකට පසුවය.