මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා ලබන සඳුදා පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය පාර්ලිමේන්තු මහලේකම්වරයා වෙත භාරදීමට නියමිතව තිබේ.
ඒ අනුව, ලබන සතියේ දී ඔහු මහ බැංකු අධිපති ලෙස පත්කිරීමට නියමිත බව වාර්තා වෙයි.
රටේ මේ මොහොතේ පවතින අවශ්‍යතාවය සැලකිල්ලට ගනිමින් තමා මහ බැංකුවේ අධිපති ධුරය යළි භාරගැනීමට සූදානම් බව රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසයි.
අද පෙරවරුවේ මාධ්‍යයට අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ ඒ සඳහා තමන් සිය පාර්ලිමේන්තු මන්ත්‍රීධුරයෙන් ඉල්ලා අස්වීමට කටයුතු කරන බවය.
මේ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වු ඒ මහතා,
“මට ආරාධනාවක් ඇවිල්ලා තියෙනවා ජනාධිපතිතුමාගෙන්. මහ බැංකු අධිපතිකම භාරගන්න කියලා. මම ඒ ආරාධනාව පිළිඅරගෙන තියෙනවා. ඒ අනුව කටයුතු කරද්දි මට පාර්ලිමේන්තුවෙන් ඉල්ලා අස්වෙන්න වෙනවා. මම ඒක ඉදිරි අනාගතයේ දී කිරීමට බලාපොරොත්තු වෙනවා. ඊට පස්සේ ජනාධිපතිතුමාට පුළුවන් වෙනවා මාව පත්කරන්න අධිපති හැටියට. ඉන් පසුව මම අවුරුදු 8 හමාරක් පමණ කාලයක් සේවය කරපු මහ බැංකුවට නැවත වරක් අධිපති හැටියට සේවය කරන්න බලාපොරොත්තු වෙනවා.”