Monday, 9 November 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

‘අග්බෝ’ ඇතු ඉලක්ක කර ඇටවූ බඳින තුවක්කුවක් වනජීවී නිලධාරීන්ගේ කකුලේ පැටලෙයි

බෙදාගන්න
XWhatsAppTelegramඅදහස්

අනුරාධපුර, මිහින්තලේ ප්‍රදේශයේ සැරිසරන කාගේත් ආදරය දිනූ ප්‍රකට ‘අග්බෝ’ ඇතා ගැවසෙන ඉසව්වක බඩඉරිඟු වගා බිමකට නුදුරින් අටවා තිබූ අනතුරුදායක බඳින තුවක්කුවක් සොයාගෙන එය ආරක්ෂිතව අක්‍රිය කිරීමට තිරප්පනේ වනජීවී නිලධාරීන් පියවර ගෙන තිබේ.

අග්බෝ ඇතාගේ ආරක්ෂාව තහවුරු කිරීම සහ ඌ පිළිබඳව සොයාබැලීම වෙනුවෙන් තිරප්පනේ වනජීවී කාර්යාලයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් පසුගිය සෙනසුරාදා (07) සිදුකළ ක්ෂේත්‍ර මුර සංචාරයක් අතරතුරදී මෙම මර උගුල හමුවී ඇත.

මිහින්තලේ නොච්චිකුලම වැව ආසන්නයේ පිහිටි බඩඉරිඟු වගාවක් අසල අග්බෝ ඇතා රැඳී සිටිනු නිරීක්ෂණය කළ නිලධාරීන් ඒ අවට ප්‍රදේශය පරීක්ෂා කරමින් සිටියදී, එක් වනජීවී නිලධාරියෙකුගේ කකුල මෙම බඳින තුවක්කුවට සම්බන්ධ කර තිබූ රැහැන් නූලේ (Tripwire) ගැටී තිබේ. අනතුරුව ඉතා සූක්ෂ්ම ලෙස ක්‍රියාත්මක වූ නිලධාරීහු එම අවිය හඳුනාගෙන කිසිදු අනතුරක් සිදුවීමට පෙර එය ආරක්ෂිතව අක්‍රිය කළහ.

අඩි පහක් උසින් ඇටවූ මර උගුල

ඊයේ (08) ඉරිදා සිදුකළ වැඩිදුර සෝදිසි මෙහෙයුමකදී, අසල පිහිටි වගා බිමක පැලක් තුළ තිබී බඳින තුවක්කු සකස් කිරීමට භාවිත කරන උපකරණ රැසක් සොයාගැනීමට හැකිවූ අතර, එහි රැඳී සිටි පුද්ගලයෙකුද සැකපිට අත්අඩංගුවට ගැනිණි.

ප්‍රශ්න කිරීම් හමුවේ සැකකරු පාපොච්චාරණය කර ඇත්තේ, වන අලින් ඉලක්ක කරගනිමින් පොළොවේ සිට අඩි පහක පමණ උසකින් මෙම බඳින තුවක්කුව තමන් විසින් සවිකළ බවයි. බඩඉරිඟු වගාව වන අලින්ගෙන් ආරක්ෂා කරගැනීම සඳහා මෙය සවිකර ඇති බවට සැකකෙරේ. අත්අඩංගුවට ගත් සැකකරු සහ නඩු භාණ්ඩ අද (09) අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

අග්බෝ අසලින් හමුවූ දෙවැනි මර උගුල

අග්බෝ ඇතාගේ ආරක්ෂාව වෙනුවෙන් සිදුකළ මුර සංචාරයන්හිදී ඌ ආසන්නයේ තිබී බඳින තුවක්කුවක් සොයාගත් දෙවැනි අවස්ථාව මෙය බව වනජීවී නිලධාරීහු පෙන්වා දෙති. මෙවැනි නීතිවිරෝධී උගුල්වලට හසුවන වන අලින්ගේ තුවාල පැසවා නරක් වන තෙක් බොහෝ විට ඒවා හඳුනාගත නොහැකි වීම නිසා ප්‍රතිකාර කිරීම අතිශය දුෂ්කර වන බවද ඔවුහු අනතුරු අඟවති.

මේ අතර, වන අලින් ඉලක්ක කර මෙවැනි මාරාන්තික නීතිවිරෝධී ගිනිඅවි සහ උගුල් සකසන හා භාවිත කරන පුද්ගලයින් කොටුකර ගැනීම සඳහා ආරක්ෂක හමුදා සහ වනජීවී නිලධාරීන් එක්ව ආරම්භ කළ විශේෂ ‘හස්ති සේනා’ ඒකාබද්ධ මෙහෙයුම තවදුරටත් දැඩිව ක්‍රියාත්මක වේ.

තිරප්පනේ වනජීවී බීට්ටු භාර අඩවි සහකාර බුද්ධික ඇතුකෝරාල මහතාගේ සෘජු අධීක්ෂණය යටතේ මෙම මෙහෙයුම සිදුකර තිබිණි.

ඔබේ අදහස