රජයේ ඩිජිටල්කරණ වැඩසටහන යටතේ සැප්තැම්බර් මාසයේ සිට ශ්‍රී ලංකාවේ සියලුම රථවාහන දඩ මුදල් අන්තර්ජාලය ඔස්සේ පමණක් ගෙවීමට පහසුකම් සලසන බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවති, 2026 වසරේ ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය මගින් ක්‍රියාත්මක කළ ව්‍යාපෘති හා වැඩසටහන්වල ප්‍රගතිය සමාලෝචනය කිරීමේ සාකච්ඡාවකදී මේ පිළිබඳව අවධානය යොමු වී තිබේ.
අන්තර්ජාලය ඔස්සේ රථවාහන දඩ ගෙවීමේ පහසුකම, ජනතාවට රජයේ ආයතන සමඟ සිදුකරන ගනුදෙනු වඩාත් පහසු කිරීමේ අරමුණින් හඳුන්වා දී ඇති GovPay වැඩසටහනේ කොටසක් ලෙස ක්‍රියාත්මක කෙරේ.
මෙම සාකච්ඡාවේදී තවත් ඩිජිටල් වැඩසටහන් කිහිපයක ප්‍රගතිය පිළිබඳවද සමාලෝචනය කර තිබේ.
ඒ අතරින් ශ්‍රී ලංකාවේ පළමු ඩිජිටල් හැඳුනුම්පත මෙම වසර අවසන් වීමට පෙර නිකුත් කිරීමේ සැලසුම්, National Super App, National QR Drive, National Data Exchange සහ ජංගම දුරකථන අංක මාරු කිරීමේ පහසුකම (Number Portability) ඇතුළත් වේ.
2030 වන විට ශ්‍රී ලංකාවේ ඩිජිටල් ආර්ථිකය ඇමෙරිකානු ඩොලර් බිලියන 30ක් දක්වා පුළුල් කිරීමේ රජයේ පුළුල් වැඩපිළිවෙළ යටතේ මෙම ව්‍යාපෘති ක්‍රියාත්මක කෙරේ.


