අත්අඩංගුවට ගත් සැකකරුවෙකු ඇප මත මුදාහැරීමට කටයුතු කිරීම සඳහා අල්ලසක් ඉල්ලා සිටි බවට එල්ල වූ චෝදනා මත මල්වතුහිරිපිටිය පොලිස් ස්ථානයට අනුයුක්ත පොලිස් සැරයන්වරයෙකුගේ සේවය අත්හිටුවා තිබේ.
2026 සැප්තැම්බර් 26 වැනිදා රාත්‍රියේ සැකපිට අත්අඩංගුවට ගත් පුද්ගලයෙකු ඇප මත මුදාහැරීමට කටයුතු කිරීම වෙනුවෙන් පුද්ගලයෙකුගෙන් කුකුළු මස් කිලෝග්‍රෑම් එකක් ඉල්ලා සිටින ආකාරය දැක්වෙන බව කියන වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වීමෙන් අනතුරුව මෙම පියවර ගෙන ඇත.
වීඩියෝව සම්බන්ධයෙන් ගම්පහ කොට්ඨාස 04 භාර සහකාර පොලිස් අධිකාරීවරයාගේ අධීක්ෂණය යටතේ විමර්ශනයක් සිදුකර තිබේ.
එම විමර්ශනයේදී අනාවරණය වූ කරුණු මත පොලිස් සැරයන්වරයාගේ සේවය අත්හිටුවීමට බලධාරීන් පියවර ගෙන ඇත.
මේ අතර, සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් මූලික විමර්ශනයක් ගම්පහ පොලිස් කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාගේ අධීක්ෂණය යටතේ සිදුකෙරෙමින් පවතී.


