හිටපු අමාත්‍ය විමල් වීරවංශගේ බිරිඳ වන ශෂී වීරවංශ ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනු කර ඇති අභියාචනය විභාගයට ගන්නා තෙක් ඇප මත මුදාහැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.
නීතිවිරෝධී ලෙස ලබාගත් රාජ්‍යතාන්ත්‍රික ගමන් බලපත්‍රයක් සන්තකයේ තබාගැනීම සම්බන්ධයෙන් වරදකරු වීමෙන් අනතුරුව ඇය අද අධිකරණය හමුවේ පෙනී සිටියාය.
මෙම චෝදනාවට වරදකරු කරනු ලැබූ ශෂී වීරවංශට මීට පෙර වසර දෙකක සිරදඬුවමක් සහ රුපියල් 100,000ක දඩයක් නියම කර තිබිණි.
කොළඹ මහාධිකරණය මහේස්ත්‍රාත් අධිකරණයේ තීන්දුව තහවුරු කිරීමෙන් අනතුරුව, එම දඬුවම නිල වශයෙන් ප්‍රකාශ කිරීම සඳහා නඩුව අද කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවා තිබේ.
ශෂී වීරවංශ අධිකරණය හමුවේ පෙනී සිටීමෙන් අනතුරුව මහේස්ත්‍රාත්වරයා මහාධිකරණය විසින් තහවුරු කළ දඬුවම ප්‍රකාශයට පත් කළේය.
මේ අතර, මහාධිකරණ තීන්දුවට එරෙහිව ඇය ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියාචනයක් ගොනු කර ඇති බව අධිකරණයට දැනුම් දී තිබේ.
ඒ අනුව, එම අභියාචනය විභාගයට ගන්නා තෙක් ඇය මීට පෙර ලබාදී තිබූ ඇප මත මුදාහැරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.
නඩුව යළි සැප්තැම්බර් 28 වැනිදා කැඳවීමට නියමිතය.


