යුරෝපා සංගමයේ (EU) ‘ග්ලෝබල් ගේට්වේ’ ආයෝජන වැඩසටහන යටතේ ශ්රී ලංකාවේ සුළු හා මධ්ය පරිමාණ ව්යාපාර, නව ව්යවසායක පරිසර පද්ධතිය සහ අපනයන ඉලක්ක කරගත් කර්මාන්ත ශක්තිමත් කිරීම සඳහා යුරෝපා ආයෝජන ලබාගැනීමට ශ්රී ලංකාව උත්සාහ කර තිබේ.
කර්මාන්ත සහ ව්යවසායකත්ව සංවර්ධන නියෝජ්ය අමාත්ය චතුරංග අබේසිංහ මහතා සහ යුරෝපා කොමිසමේ ජාත්යන්තර හවුල්කාරිත්ව පිළිබඳ අධ්යක්ෂ ජනරාල් කාර්යාලයේ (DG INTPA) ආසියා, මධ්යම ආසියා සහ පැසිෆික් කලාප අධ්යක්ෂ පීටරිස් උස්ටබ්ස් මහතා අතර බ්රහස්පතින්දා (15) පැවති සාකච්ඡාවකදී මේ පිළිබඳව අවධානය යොමු වී ඇත.
ඩිජිටල් තාක්ෂණය, පුනර්ජනනීය බලශක්තිය, ප්රවාහන යටිතල පහසුකම්, සෞඛ්යය, අධ්යාපනය සහ පර්යේෂණ ඇතුළු ප්රධාන ක්ෂේත්ර සඳහා ගෝලීය වශයෙන් යුරෝ බිලියන 300කට ආසන්න ආයෝජන ප්රමාණයක් රැස් කිරීම යුරෝපා සංගමයේ ‘ග්ලෝබල් ගේට්වේ’ වැඩසටහනේ අරමුණයි.
මෙම සාකච්ඡාවේදී ශ්රී ලංකාවේ සුළු හා මධ්ය පරිමාණ ව්යාපාර අංශය ජාත්යන්තර වෙළෙඳ ප්රමිතීන්ට අනුකූල වන පරිදි වැඩිදියුණු කිරීමේ සහ අපනයන වෙළෙඳපොළ වෙත ප්රවේශය ශක්තිමත් කිරීමේ අවශ්යතාව නියෝජ්ය අමාත්ය අබේසිංහ මහතා අවධාරණය කළේය.
නව ව්යවසායකයන්ට තම ව්යාපාරික අදහස් වාණිජමය වශයෙන් සාර්ථක ව්යාපාර බවට පත්කර ගැනීමට සහාය වන ආරම්භක ව්යාපාර ඉන්කියුබේටර් මධ්යස්ථාන පිහිටුවීමේ වැදගත්කම ද ඔහු පෙන්වා දුන්නේය.
ඒ අනුව, මෙරට සුළු හා මධ්ය පරිමාණ ව්යාපාරවලට සහාය වීම, නව ව්යාපාර ඉන්කියුබේටර් මධ්යස්ථාන පිහිටුවීම සහ ශ්රී ලංකාවේ අපනයන ඉලක්ක කරගත් කර්මාන්ත සංවර්ධනය කිරීම සඳහා ප්රාග්ධනය හා තාක්ෂණය සපයන යුරෝපා සංගම් ආයෝජන ලබාදෙන ලෙස නියෝජ්ය අමාත්යවරයා ඉල්ලා සිටියේය.
ප්රධාන ජාත්යන්තර මුහුදු මාර්ග ඔස්සේ පිහිටා තිබීම, පුහුණු ශ්රම බලකායක් පැවතීම සහ ක්රියාත්මක වෙමින් පවතින පාලන ප්රතිසංස්කරණ සැලකිල්ලට ගනිමින්, ආසියානු වෙළෙඳපොළ වෙත පිවිසීමේ උපායමාර්ගික මධ්යස්ථානයක් ලෙස ශ්රී ලංකාව සලකා බලන ලෙස ද ඔහු යුරෝපා ආයෝජකයන්ට ආරාධනා කළේය.
ජාත්යන්තර මූල්ය අරමුදලේ (IMF) විස්තීර්ණ අරමුදල් පහසුකම් වැඩසටහන යටතේ ශ්රී ලංකාව ක්රියාත්මක කරන ආර්ථික ප්රතිසංස්කරණ පිළිබඳව ද නියෝජ්ය අමාත්යවරයා යුරෝපා සංගම් නියෝජිත පිරිස දැනුවත් කළේය.
මේ අතර, IMF වැඩසටහන යටතේ ශ්රී ලංකාව ලබා ඇති ප්රගතිය, විශේෂයෙන්ම පස්වැනි සහ හයවැනි සමාලෝචන සාර්ථකව අවසන් කිරීම, යුරෝපා කොමිසමේ නිලධාරී පීටරිස් උස්ටබ්ස් මහතාගේ ඇගයීමට ලක්ව තිබේ. මෙම ප්රගතිය රටේ ආර්ථික ගමන්මඟ සම්බන්ධයෙන් ජාත්යන්තර ආයෝජකයන්ට ධනාත්මක සංඥාවක් ලබාදෙන බව ඔහු සඳහන් කළේය.
දකුණු ආසියාවේ කලාපීය බලශක්ති සම්බන්ධතා ශක්තිමත් කිරීම, පුනර්ජනනීය බලශක්ති ව්යාපෘති ප්රවර්ධනය කිරීම සහ විනිවිදභාවයෙන් යුත් යටිතල පහසුකම් සංවර්ධනය ඉදිරියට ගෙන යාම පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කර තිබේ.
විදේශ ආයෝජන ආකර්ෂණය කරගැනීමේදී විනිවිදභාවය සහතික කරන අතරම ශ්රී ලංකාවේ කර්මාන්ත හා ව්යාපාරික ක්ෂේත්ර නවීකරණය කිරීමට රජය කැපවී සිටින බව නියෝජ්ය අමාත්ය අබේසිංහ මහතා යළිත් අවධාරණය කළේය.
කොළඹ යුරෝපා සංගම් නියෝජිත කාර්යාලයේ නියෝජ්ය ප්රධානී ගාලියා අගිෂේවා මහත්මිය සහ එහි සහයෝගිතා ප්රධානී වර්ජිනි ලෆ්ලර්-ටයිග් මහත්මිය ද මෙම සාකච්ඡාවට සහභාගි වූහ.


