ශ්‍රී ලංකාව Licensing Round 2026 නමින් නව බලපත්‍ර වටයක් දියත් කිරීමට සූදානම් වන අතර, ඒ හරහා ශ්‍රී ලංකාවේ මුහුදු සීමාව තුළ තෙල් හා ස්වාභාවික ගෑස් ගවේෂණය සහ නිෂ්පාදනය සඳහා ලොව පුරා බලශක්ති සමාගම්වලට ආරාධනා කිරීමට නියමිතය.
ශ්‍රී ලංකා ඛනිජ තෙල් සංවර්ධන අධිකාරිය (PDASL) සඳහන් කළේ මෙම බලපත්‍ර වටය අගෝස්තු 25 වැනිදා පෙරවරු 10.00ට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථා ශ්‍රවණාගාරයේ පැවැත්වෙන මාධ්‍ය හමුවකදී නිල වශයෙන් දියත් කිරීමට නියමිත බවයි.
ශ්‍රී ලංකාවේ මුහුදු සීමාවේ තෙල් හා ගෑස් ගවේෂණ සහ නිෂ්පාදන කටයුතු සඳහා ජාත්‍යන්තර බලශක්ති සමාගම් ආකර්ෂණය කර ගැනීම මෙම බලපත්‍ර වටයේ ප්‍රධාන අරමුණ බව PDASL සඳහන් කරයි.
මේ වන විට සිදුකර ඇති ගවේෂණ කටයුතු මගින් ශ්‍රී ලංකාවේ බටහිර වෙරළට ඔබ්බෙන් වාණිජමය වශයෙන් ප්‍රයෝජනයට ගත හැකි ගෑස් සංචිත පවතින බව තහවුරු වී ඇති බවද අධිකාරිය පවසයි.
එම සම්පත් කඩිනමින් සංවර්ධනය කිරීම මගින් ශ්‍රී ලංකාවේ බලශක්ති සුරක්ෂිතතාව ශක්තිමත් කිරීමට මෙන්ම කාර්මික වර්ධනයටද ප්‍රබල උත්තේජනයක් ලබාදිය හැකි බව PDASL පෙන්වා දෙයි.
Licensing Round 2026 සම්බන්ධ වැඩිදුර තොරතුරු අගෝස්තු 25 වැනිදා පැවැත්වෙන නිල දියත් කිරීමේ අවස්ථාවේදී ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.


