වියළි කාලගුණයෙන් බලපෑමට ලක් වූ ගොවීන්ට කඩිනමින් කෘෂිකාර්මික රක්ෂණ වන්දි

පවතින වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් බලපෑමට ලක්ව සිටින ගොවීන් සඳහා කෘෂිකාර්මික රක්ෂණ වන්දි කඩිනමින් ලබාදීමට පියවර ගෙන ඇති බව කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය පවසයි.

නියඟය හේතුවෙන් ඇති වූ ජල හිඟය නිසා මොනරාගල, පොළොන්නරුව, හම්බන්තොට, අම්පාර සහ අනුරාධපුර ඇතුළු දිස්ත්‍රික්ක කිහිපයක වී සහ බඩඉරිඟු ඇතුළු වගාවන්ට හානි සිදුවී තිබේ.

කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයට අනුව, මොනරාගල දිස්ත්‍රික්කයේ ගොවීන් 960 දෙනෙකුට අයත් අක්කර 1,334ක වී වගාවට හානි සිදුවී ඇති අතර, පොළොන්නරුවේ ගොවීන් 560 දෙනෙකුට අයත් අක්කර 1,100ක වගාවට හානි සිදුවී ඇත.

එමෙන්ම, හම්බන්තොට දිස්ත්‍රික්කයේ ගොවීන් 782 දෙනෙකුට අයත් අක්කර 435ක්, අම්පාර දිස්ත්‍රික්කයේ ගොවීන් 505 දෙනෙකුට අයත් අක්කර 1,004ක් සහ අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගොවීන් 1,900 දෙනෙකුට අයත් අක්කර 2,200ක් හානියට පත්ව තිබේ.

වී සහ බඩඉරිඟු ඇතුළු වගා හයක් සඳහා හෙක්ටයාරයකට රුපියල් 100,000ක් දක්වා වන්දි ලබාදීමට රජය කටයුතු කරන අතර, උපරිම වශයෙන් අක්කර පහක් සඳහා වන්දි ගෙවීමට නියමිතය.

ඒ අනුව, මේ වන විට හානි වාර්තා වී ඇති ප්‍රදේශවල අක්කර 6,073කට ආසන්න වී වගා භූමි ප්‍රමාණයකට බලපෑම් එල්ල වී ඇති ගොවීන් 4,707කට පමණ කඩිනමින් වන්දි ලබාදීමට පියවර ගනිමින් සිටී.

ජල හිඟය හේතුවෙන් වී, බඩඉරිඟු හෝ වෙනත් වගාවන්ට හානි සිදුව ඇති ගොවීන්ට හැකි ඉක්මනින් කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයේ ක්ෂේත්‍ර නිලධාරීන් වෙත එම හානි වාර්තා කරන ලෙස දැනුම් දී ඇත.

එසේ නොමැති නම්, ගොවිජන සංවර්ධන මධ්‍යස්ථානවල පවත්වාගෙන යන හානි දැනුම්දීමේ ලේඛනවල වගා හානි සටහන් කළ හැකිය.

වැඩිදුර තොරතුරු සඳහා කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයේ කෙටි දුරකථන අංකය 1918 ඔස්සේ ලබාගත හැකිය.

බලපෑමට ලක් වූ දිස්ත්‍රික්කවල කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයේ නිලධාරීන් දැනටමත් හානි වූ වී වගා බිම් වෙත ගොස් වගා හානි තක්සේරු කිරීම ආරම්භ කර තිබේ.

පවතින තත්ත්වය හේතුවෙන් හානි වූ වී වගාවන් සඳහා වන්දි ගෙවීම් කඩිනම් කරමින් ගොවීන්ගේ වගා හානි වෙනුවෙන් සහන ලබාදීමට පියවර ගන්නා ලෙස කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා ද නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *