රුපියල් ලක්ෂ 5ක අල්ලසක් ගත් බවට චෝදනා: මොනරාගල පොලිස් නිලධාරීන් සිව්දෙනෙකු අත්අඩංගුවට

ගංජා වගාවකට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග නොගැනීම සඳහා රුපියල් ලක්ෂ 5ක අල්ලසක් ලබාගත් බවට චෝදනා එල්ල වූ මොනරාගල කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයට අනුයුක්ත පොලිස් නිලධාරීන් සිව්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිසිය පැවසුවේ තණමල්විල නිකවැව දෙමෝදර වැව ආසන්නයේ පවත්වාගෙන ගිය බව කියන ගංජා වගාවක් සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග නොගැනීම සඳහා මෙම මුදල ලබාගෙන ඇති බවට සැක කෙරෙන බවයි.

අත්අඩංගුවට ගත් නිලධාරීන් අතර බුත්තල ප්‍රදේශයේ පදිංචි 37 හැවිරිදි පොලිස් සැරයන්වරයෙකු, දෙහිඅත්තකණ්ඩිය ප්‍රදේශයේ පදිංචි 45 හැවිරිදි පොලිස් සැරයන්වරයෙකු, බිබිල ප්‍රදේශයේ පදිංචි 39 හැවිරිදි පොලිස් කොස්තාපල් රියදුරෙකු සහ එම ප්‍රදේශයේම පදිංචි 36 හැවිරිදි පොලිස් කොස්තාපල්වරයෙකු සිටින බව සඳහන් වේ.

තණමල්විල පොලිස් ස්ථානාධිපතිවරයාට ප්‍රදේශයේ ගංජා වගාවක් සම්බන්ධයෙන් තොරතුරක් ලැබීමෙන් අනතුරුව අගෝස්තු 11 වැනිදා පොලිස් කණ්ඩායමක් එම ස්ථානය වටලා සැකකරුවෙකු ගංජා වගාවක්ද සමඟ අත්අඩංගුවට ගෙන තිබේ.

වැඩිදුර සෝදිසි කිරීම්වලදී තවත් ගංජා වගා තුනක් සොයාගෙන ඇති අතර, තවත් එක් වගාවක් කපා විනාශ කර තිබූ බව පොලිසිය පැවසීය.

අත්අඩංගුවට ගත් සැකකරුගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වී ඇත්තේ අගෝස්තු 10 වැනිදා මොනරාගල අපරාධ විමර්ශන ඒකකයට අයත් පොලිස් නිලධාරීන් හයදෙනෙකු එම ස්ථානයට පැමිණ රුපියල් ලක්ෂ 5ක් ලබාගෙන, එක් ගංජා වගාවක් පමණක් ගිනි තබා විනාශ කර ඉතිරි ගංජා තොගය රැගෙන ගොස් ඇති බවයි.

වැඩිදුර විමර්ශනවලදී නිකවැව ප්‍රදේශයේ පදිංචි “කළු” නමැති පුද්ගලයෙකු ද ගංජා සමඟ අත්අඩංගුවට ගෙන තිබේ. ඔහුගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී එම පොලිස් නිලධාරීන් කණ්ඩායම තමන්ට ගංජා තොගය වියළන ලෙස උපදෙස් දී ඇති බව අනාවරණය වී ඇත.

සැකකරුවන් දෙදෙනා වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රශ්න කිරීම් සඳහා රඳවා තබා ගැනීමේ නියෝග ලබාගෙන තිබේ.

එම ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වූ තොරතුරු මත තණමල්විල පොලිසිය විසින් අදාළ පොලිස් නිලධාරීන් සිව්දෙනා අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් පොලිස් නිලධාරීන් වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *