හදිසි අවස්ථාවලදී කලාපීය ප්‍රතිචාර ශක්තිමත් කිරීම සහ බන්ධනාගාර පද්ධතිය තුළ ඇතිවන සිදුවීම්වලදී රාජ්‍ය ආයතන අතර සම්බන්ධීකරණය වැඩිදියුණු කිරීම සඳහා යාපනය බන්ධනාගාරයේදී රාජ්‍ය ආයතන ඒකාබද්ධ සම්බන්ධීකරණ යාන්ත්‍රණයක් ස්ථාපිත කර තිබේ.
අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය, ජනාධිපති නීතිඥ හර්ෂණ නානායක්කාර මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම වැඩසටහන ආරම්භ කෙරිණි.
ප්‍රාදේශීය මට්ටමේ රාජ්‍ය ආයතන අතර සමීප සම්බන්ධීකරණයක් තුළින් හදිසි අවස්ථාවල ප්‍රතිචාර දැක්වීම විධිමත් කිරීම සහ රැඳවියන්ගේ සුබසාධනය වැඩිදියුණු කිරීම මෙම වැඩසටහනේ අරමුණයි. මෙවැනි සම්බන්ධීකරණ යාන්ත්‍රණ දිවයින පුරා පිහිටි අනෙකුත් බන්ධනාගාරවලද ස්ථාපිත කිරීමට අපේක්ෂා කෙරේ.
මෙහිදී රාජ්‍ය නිලධාරීන් අමතමින් අමාත්‍ය නානායක්කාර මහතා ඒකාබද්ධ සම්බන්ධීකරණ ජාලය ස්ථාපිත කිරීමේ ප්‍රධාන අරමුණු පැහැදිලි කළ අතර, බන්ධනාගාර ආශ්රිත හදිසි අවස්ථාවලදී විවිධ රාජ්‍ය ආයතන අතර ඵලදායී සහ කඩිනම් සහයෝගීතාවක වැදගත්කම අවධාරණය කළේය.
මෙම අවස්ථාවට යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන කේ. ඉලංකුමාරන් සහ එස්. භවනන්දරාජා, යාපනය දිස්ත්‍රික් ලේකම් එම්. ප්‍රදීපන්, යාපනය බන්ධනාගාර අධිකාරී එස්. ඉන්ද්‍රකුමාර් සහ යාපනය නියෝජ්‍ය පොලිස්පති ජී.එච්. මාරපන යන මහත්වරු සහභාගී වූහ.
ජල සම්පාදන මණ්ඩලය, බන්ධනාගාර දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා නාවික හමුදාව, ශ්‍රී ලංකා යුද හමුදාව, පොලිසිය, යාපනය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය නියෝජනය කරමින් නිලධාරීහුද මෙම අවස්ථාවට එක්වූහ.
සම්බන්ධීකරණ යාන්ත්‍රණය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමෙන් අනතුරුව අධිකරණ අමාත්‍යවරයා යාපනය බන්ධනාගාරයේ නිරීක්ෂණ චාරිකාවකද නිරත විය.
එහිදී රැඳවියන්ගේ තත්ත්වය සහ සුබසාධන අවශ්‍යතා පිළිබඳව සොයා බැලූ අමාත්‍යවරයා බන්ධනාගාර මුළුතැන්ගෙය, කාන්තා අංශය සහ රක්ෂිත බන්ධනාගාර පහසුකම් ඇතුළු ස්ථාන කිහිපයක්ද පරීක්ෂා කළේය.


