මුහුදේ පෙරළුණු ඉන්දුනීසියානු ධීවර යාත්‍රාවක ධීවරයින් 25 දෙනෙකු කොළඹ වරායට රැගෙන එයි

ශ්‍රී ලංකාවට දකුණු දෙසින් මුහුදේදී ධීවර යාත්‍රාවක් පෙරළීමෙන් අනතුරුව බහු ආයතන සම්බන්ධීකරණයෙන් සිදුකළ මුදාගැනීමේ මෙහෙයුමකින් ඉන්දුනීසියානු ධීවරයින් 25 දෙනෙකු ආරක්ෂිතව කොළඹ වරායට රැගෙන ආ බව ශ්‍රී ලංකා නාවික හමුදාව පවසයි.

නාවික හමුදාව සඳහන් කළේ, සැප්තැම්බර් 22 වැනිදා පෙරළී ගිය KM Garuda Jaya VI නමැති ඉන්දුනීසියානු ධීවර යාත්‍රාවේ මෙම ධීවරයින් පිරිස සිටි බවයි.

මෙම අනතුර සිදුව ඇත්තේ ඔස්ට්‍රේලියානු සෙවුම් හා මුදාගැනීම් කලාපයට අයත් මුහුදු ප්‍රදේශයක වන අතර, යාත්‍රාවේ සිටි පිරිස අනතුරට ලක්ව ඇති බවට මුලින්ම වාර්තා වී තිබේ.

අනතුරුව MV Moonstone නමැති වෙළෙඳ නෞකාව ජලයේ සිටි ධීවරයින් 25 දෙනාම මුදාගෙන ඇති අතර, ඒ සම්බන්ධයෙන් කොළඹ සමුද්‍රීය මුදාගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානය (MRCC Colombo) වෙත දැනුම් දී තිබේ.

එම ආපදා ඇමතුමට ප්‍රතිචාර දක්වමින් MRCC Colombo සමඟ සම්බන්ධීකරණයෙන් ශ්‍රී ලංකා නාවික හමුදාව මුදාගත් ධීවරයින් ගොඩබිමට රැගෙන ඒම සඳහා නාවික යාත්‍රා දෙකක් යොමු කර තිබේ.

ඒ අනුව ඊයේ (24) සවස ධීවරයින් 25 දෙනා ආරක්ෂිතව කොළඹ වරායට රැගෙන ආ නාවික හමුදාව, ඔවුන්ට අවශ්‍ය මානුෂීය සහායද ලබාදී තිබේ.

පසුව මෙම ධීවරයින් ඉදිරි කටයුතු සඳහා ශ්‍රී ලංකාවේ ඉන්දුනීසියානු තානාපති කාර්යාලය වෙත භාරදී ඇති බව නාවික හමුදාව සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *