මිනේරිය, කවුඩුල්ල සහ හුරුළු උද්‍යානවල සංචාරක කළමනාකරණයට නව වැඩපිළිවෙළක්

ශ්‍රී ලංකාවේ ජාතික උද්‍යානවල වනජීවී සංරක්ෂණය වඩාත් තිරසර කිරීම සහ සංචාරක කළමනාකරණය විධිමත් කිරීම සඳහා පරිසර අමාත්‍යාංශය නව වැඩපිළිවෙළක් හඳුන්වාදීමට පියවර ගෙන තිබේ.

පරිසර නියෝජ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් මිනේරිය, කවුඩුල්ල සහ හුරුළු ජාතික උද්‍යානවල සිදු කළ නිරීක්ෂණ චාරිකාවකින් අනතුරුව මෙම පියවර ගැනීමට තීරණය කර ඇත.

සංචාරක ආකර්ෂණීය ස්ථාන වැඩිදියුණු කිරීම, යටිතල පහසුකම් සහ සනීපාරක්ෂක පහසුකම් නවීකරණය කිරීම, සේවා කාර්යක්ෂම කිරීම සඳහා ඩිජිටල් තාක්ෂණය හඳුන්වාදීම සහ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ආදායම් මාර්ග පුළුල් කිරීම මෙම වැඩපිළිවෙළේ ප්‍රධාන අරමුණු වේ.

නිලධාරීන් පෙන්වා දී ඇත්තේ දිනකට ජීප් රථ 400ත් 600ත් අතර ප්‍රමාණයක් මිනේරිය සහ කවුඩුල්ල ජාතික උද්‍යානවලට ඇතුළු වීම හේතුවෙන් පරිසරයට සහ වනජීවීන්ට සැලකිය යුතු බලපෑමක් එල්ල වන බවයි.

මෙම තත්ත්වයට විසඳුමක් ලෙස විශේෂඥයන්ගේ සහභාගීත්වයෙන් උද්‍යානවලට දරාගත හැකි උපරිම සංචාරක සහ වාහන ධාරිතාව හඳුනාගැනීම සඳහා විද්‍යාත්මක ධාරිතා අධ්‍යයනයක් (carrying capacity study) සිදු කිරීමට නියමිතය.

මිනේරිය ජාතික උද්‍යානයට සීගිරිය – පෙක්කුලම මාර්ගය ඔස්සේ නව පිවිසුම් දොරටුවක් ස්ථාපිත කිරීමටද සැලසුම් කර ඇති අතර, එමගින් වාහන තදබදය අවම කිරීමට අපේක්ෂා කෙරේ.

එමෙන්ම පස්වරු 2.00න් පසු මිනේරියට ඇතුළු වන වාහන බටේඔය පිවිසුම හරහා පිටවීමට යොමු කිරීමටද සැලසුම් කර තිබේ.

ඩිජිටල් තාක්ෂණය ඔස්සේ නවීකරණය

මෙම ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළේදී ඩිජිටල්කරණයටද ප්‍රමුඛත්වයක් ලබාදී ඇත.

මිනේරිය සහ කවුඩුල්ල ජාතික උද්‍යාන සඳහා ඒකාබද්ධ ප්‍රවේශපත්‍ර පද්ධතියක් හඳුන්වාදීමටත්, හුරුළු පරිසර උද්‍යානය සඳහා නව මාර්ගගත ප්‍රවේශපත්‍ර පද්ධතියක් ක්‍රියාත්මක කිරීමටත් සැලසුම් කර තිබේ.

උද්‍යාන පිවිසුම් දොරටුවල පවතින ඩිජිටල් නිරීක්ෂණ පද්ධතිද වැඩිදියුණු කර වාහන ඇතුළුවීම සහ පිටවීම තත්‍ය කාලීනව නිරීක්ෂණය කිරීමට නියමිතය. එමගින් උද්‍යාන තුළ ඇතිවන තදබදය වඩාත් කාර්යක්ෂමව කළමනාකරණය කිරීමට හැකි වනු ඇත.

හුරුළු පරිසර උද්‍යානයට පැමිණෙන දේශීය සහ විදේශීය සංචාරකයන් සඳහා උසස් තත්ත්වයේ ආහාර සහ පාන සේවා මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීම පිළිබඳවද සාකච්ඡා කර තිබේ.

මිනේරිය සහ කවුඩුල්ල ජාතික උද්‍යාන තුළ සංචාරකයන් රැඳී සිටිය යුතු අවම කාල සීමාවක් හඳුන්වාදීම සහ උද්‍යාන කෞතුකාගාර නව ආකර්ෂණීය අංග සමඟ නවීකරණය කිරීමද යෝජිත වැඩපිළිවෙළට ඇතුළත් වේ.

වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ආදායම් වැඩි කිරීම සඳහා උද්‍යාන පරිශ්‍ර තුළ වනජීවී තේමාවන් සහිත ටී-ෂර්ට්, සිහිවටන සහ දේශීය නිෂ්පාදන අලෙවි කිරීමටද පියවර ගැනීමට නියමිතය.

රාජ්‍ය ආයතන, පරිසර විශේෂඥයන් සහ ජාතික උද්‍යාන බලධාරීන් සමඟ සම්බන්ධීකරණයෙන් මෙම සියලු පියවර කඩිනමින් ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බව නිලධාරීහු සඳහන් කළහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *