අසර්බයිජානයේ බාකු (Baku) අගනුවරදී ඓතිහාසිකව ප්රථම වරට පැවැත්වෙන ‘FIFA වයස අවුරුදු 15න් පහළ ලෝක කුසලාන සහ සැණකෙළි’ (FIFA U15 World Cup and Festival) පාපන්දු තරගාවලියට සහභාගී වන ශ්රී ලංකා වයස 15න් පහළ ජාතික පාපන්දු කණ්ඩායම ඊයේ (28) බදාදා තරුණ කටයුතු හා ක්රීඩා අමාත්ය සුනිල් කුමාර ගමගේ මහතාගේ විශේෂ හමුවකට එක්විය.
ශ්රී ලංකා පාපන්දු සම්මේලනයේ (FFSL) සභාපති ජස්වර් උමර් මහතාද සමඟින් තරගාවලි පරිශ්රය වෙත පැමිණි අමාත්යවරයා, මෙම ඓතිහාසික ජාත්යන්තර පාපන්දු සැණකෙළියට එක්ව සිටින ශ්රී ලංකාවේ යොවුන් ක්රීඩකයන් හමුවී ඔවුන්ව උණුසුම් ලෙස දිරිමත් කිරීමට පියවර ගත්තේය.
ජාත්යන්තර පාපන්දු සම්මේලනය (FIFA) විසින් මංගල වරට සංවිධානය කරන ලද මෙම තරගාවලිය හරහා ලොව සෙසු රටවල කණ්ඩායම් සමඟ තරග වැදීමටත්, නව අත්දැකීම් සහ ජාත්යන්තර නිරාවරණය (Exposure) ලබාගනිමින් ක්රීඩා කුසලතා ඔප්නංවා ගැනීමටත් ශ්රී ලංකාවේ නැගී එන යොවුන් ක්රීඩකයින්ට අනගි අවස්ථාවක් හිමිව තිබේ.
අනාගත වෘත්තීය ක්රීඩකයින් බිහිකිරීමේ තෝතැන්නක්
ක්රීඩකයින් අමතමින් ක්රීඩා අමාත්ය සුනිල් කුමාර ගමගේ මහතා අවධාරණය කළේ, යොවුන් ක්රීඩකයන්ට මෙවැනි මුල් අවදියේදීම ජාත්යන්තර තලයේ තරග අත්දැකීම් ලබාදීම අතිශය තීරණාත්මක සාධකයක් බවයි.
“අපේ රටේ තරුණ ක්රීඩකයින්ට කුඩා කලදීම මෙවැනි ලෝක මට්ටමේ පාපන්දු පරිසරයක තරග කිරීමට, ඉගෙන ගැනීමට සහ අත්දැකීම් එකතු කරගැනීමට ලැබීම විශාල භාග්යයක්. අනාගතයේදී ජාත්යන්තර මට්ටමේ වෘත්තීය පාපන්දු ක්රීඩකයින් බවට පත්වීමේ විශාල සිහිනය කරා යන්න සෑම ක්රීඩකයෙකුටම මෙය ශක්තිමත් පදනමක් සපයනවා,” යනුවෙන් අමාත්යවරයා පැවසීය.
ජාතික ක්රීඩා සභාවේ සභාපති ප්රියන්ත ඒකනායක මහතාද මෙම නිරීක්ෂණ චාරිකාවට එක්ව සිටි අතර, එදින පෙරවරුවේ පැවති තරග කිහිපයක්ද ඔහු නිරීක්ෂණය කළේය.
දිවයින පුරා පාපන්දු සැණකෙළි
මේ අතර, මෙරට තරුණ පරපුර පාපන්දු ක්රීඩාව කෙරෙහි වැඩි වශයෙන් ආකර්ෂණය කරගැනීම, ගම්බද මට්ටමින් සැඟවුණු දක්ෂතා හඳුනාගැනීම සහ ක්රීඩකයින් ජාත්යන්තර මට්ටමට සූදානම් කිරීම වෙනුවෙන් දිවයිනේ ප්රධාන නගර රැසක් ආවරණය වන පරිදි මෙවැනි පාපන්දු සැණකෙළි පැවැත්වීමට සැලසුම් කර ඇති බව ශ්රී ලංකා පාපන්දු සම්මේලනය (FFSL) නිවේදනය කළේය.
පාපන්දු ක්රීඩාවේ බිම් මට්ටමේ සංවර්ධනය වෙනුවෙන් අඛණ්ඩව ආයෝජනය කිරීම සහ ජාත්යන්තර තරග අත්දැකීම් ලබාදීම මඟින් මෙරට යොවුන් මෙන්ම ජාතික ජ්යෙෂ්ඨ පාපන්දු කණ්ඩායම් ඉදිරියේදී වඩාත් ශක්තිමත් කළ හැකි බව සම්මේලනය පෙන්වා දෙයි.
ඓතිහාසික FIFA 15න් පහළ මෙම තරගාවලියට ශ්රී ලංකාව එක්වීම, මෙරට පාපන්දු ක්රීඩාවේ මීළඟ පරම්පරාව ලෝක තලයට ඔසවා තැබීමේ තීරණාත්මක ඉදිරි පියවරක් ලෙස ක්රීඩා ක්ෂේත්රයේ ප්රබල ඇගයීමට ලක්ව ඇත.


