මෑතකදී බන්ධනාගාර කිහිපයක ඇති වූ ගැටුම් සඳහා හේතු කිහිපයක් හඳුනාගෙන ඇති අතර, ඒවාට අවශ්‍ය පිළියම් යොදමින් විමර්ශනද අඛණ්ඩව සිදුකරන බව අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
අද පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ අදාළ සිදුවීම් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මේ වනවිටත් විමර්ශන ආරම්භ කර ඇති බවයි.
මීගමුව බන්ධනාගාරයේ ඇති වූ ගැටුම සම්බන්ධයෙන් රැඳවියන් සහ නිලධාරීන් ඇතුළු පුද්ගලයන් 1,500කට වැඩි පිරිසකගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇති බවද ඔහු පැවසීය.
එම නොසන්සුන්තාව අතරතුර සිදුවූ ඝාතන සම්බන්ධයෙන් සැකකරුවන් 61 දෙනෙකු හඳුනාගෙන ඇති බවත්, ඉන් එක් අයෙකු පොලිස් අත්අඩංගුවට ගෙන ඇති බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.
අදාළ සිදුවීමට සම්බන්ධ කරුණු මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට වාර්තා කර ඇති බවද ඔහු පැවසීය.
මහර බන්ධනාගාරයේ සිදුවීම සම්බන්ධයෙන් පුද්ගලයන් 925 දෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇති අතර, කුරුවිට බන්ධනාගාරයේ ඇති වූ ගැටුම සම්බන්ධයෙන්ද විමර්ශන ක්‍රියාත්මක බව අමාත්‍යවරයා සඳහන් කළේය.
ගැටුම්වලට සම්බන්ධ පුද්ගලයන් හඳුනා ගැනීමේ කටයුතු සිදුකරමින් පවතින බව අවධාරණය කළ ජයතිස්ස මහතා, මෙම සිදුවීම් අතර කිසියම් අන්තර් සම්බන්ධතාවක් තිබේද යන්න පිළිබඳවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශනය කරන බව පැවසීය.
එමෙන්ම මෙම ගැටුම් සඳහා බාහිර පාර්ශ්වයන්ගේ මැදිහත්වීමක් සිදුවී තිබේද යන්න සම්බන්ධයෙන්ද විමර්ශන සිදුකරන බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.


