මෙම පරිත්යාගය සිදුකර ඇත්තේ ඇමෙරිකා එක්සත් ජනපදය පදනම් කරගත්, පසුකාලීන සාන්තුවරයන්ගේ ජේසුස් ක්රිස්තුස් සභාවට අනුබද්ධ Latter-day Saint Charities (LDSC) සංවිධානය විසිනි. සෞඛ්ය හා ජනමාධ්ය අමාත්යාංශය වෙත මෙම පරිත්යාගය ලබාදී ඇත්තේ බදාදා (14) දිනයේදීය.
අමාත්යාංශය සඳහන් කරන පරිදි, පරිත්යාග කළ ඖෂධ අතර පිළිකා ප්රතිකාර සඳහා භාවිත කරන අත්යවශ්ය ඖෂධ කිහිපයක් ඇතුළත් වේ. ඒ අතර Oxaliplatin 100mg එන්නත්, Abiraterone 250mg පෙති සහ Methotrexate 500mg/5ml එන්නත් ද තිබේ. මෙම ඖෂධ ශ්රී ලංකාවේ පිළිකා රෝගීන්ගේ ප්රතිකාර සඳහා යොදා ගැනීමට නියමිතය.
අමාත්යාංශ පරිශ්රයේ පැවති උත්සවයකදී LDSC ආසියානු කලාපීය අධ්යක්ෂ Lui Wing Chung Mickey සහ ආසියානු කලාපීය කළමනාකරු Apapohn Pinsakol Saengsin යන මහත්වරුන් විසින් එම ඖෂධ සෞඛ්ය හා ජනමාධ්ය අමාත්යාංශයේ ලේකම් වෛද්ය අනිල් ජාසිංහ මහතා වෙත නිල වශයෙන් භාර දෙන ලදී.
එම උත්සවයේදී සුෂුම්නා ආබාධ සහිත රෝගීන්ට ප්රතිකාර කරන පුනරුත්ථාපන රෝහල් සහ මධ්යස්ථාන වෙත විශේෂිත රෝද පුටු 600ක් පරිත්යාග කිරීම සඳහා අමාත්යාංශය සහ ඇමෙරිකානු සංවිධානය අතර අවබෝධතා ගිවිසුමක් ද අත්සන් කර තිබේ.
මෙම රෝද පුටු පරිත්යාගය ශ්රී ලංකාවේ සංවිධානය ක්රියාත්මක කරන මානුෂීය ආධාර වැඩසටහනේ දෙවැනි අදියරයි.
එහි පළමු අදියර යටතේ 2023 වසරේදී රෝද පුටු 570ක් පරිත්යාග කර තිබූ අතර, ඒවා රට පුරා පිහිටි පුනරුත්ථාපන මධ්යස්ථාන හරහා රෝගීන් වෙත බෙදාහැර ඇත.
නව වැඩසටහන යටතේ ලෝක සෞඛ්ය සංවිධානයේ (WHO) මාර්ගෝපදේශවලට අනුකූලව රෝද පුටු නියම කිරීම, භාවිතය සහ අලුත්වැඩියා කිරීම සම්බන්ධයෙන් සෞඛ්ය සේවකයන්ට විශේෂ පුහුණුවක් ලබාදීමට ද නියමිතය.
මෙම වැඩසටහන යටතේ වෛද්යවරුන්, භෞතචිකිත්සකවරුන්, වෘත්තීය චිකිත්සකවරුන් සහ රෝද පුටු අලුත්වැඩියා වැඩමුළුවල සේවකයන් පුහුණු කිරීමට අපේක්ෂා කෙරේ.
මේ අතර, පසුගිය වසර දෙකක කාලය තුළ LDSC සංවිධානය විසින් ඇමෙරිකානු ඩොලර් මිලියන 2ක් පමණ, එනම් රුපියල් මිලියන 660ක් පමණ වටිනා අත්යවශ්ය පිළිකා ඖෂධ ද ශ්රී ලංකාවට පරිත්යාග කර ඇති බව අමාත්යාංශය සඳහන් කළේය.
නවතම පරිත්යාගය අගය කිරීමක් ලෙස සෞඛ්ය අමාත්ය නලින්ද ජයතිස්ස මහතාගේ උපදෙස් මත සකස් කළ විශේෂ ඇගයීම් සහතිකයක් ද අමාත්යාංශ ලේකම් වෛද්ය අනිල් ජාසිංහ මහතා විසින් LDSC ආසියානු කලාපීය අධ්යක්ෂවරයා වෙත පිරිනමා තිබේ.


