ඉන්දියාවේ තෙලංගානා ප්‍රාන්තයේ 48 හැවිරිදි පාසල් විදුහල්පතිනියක ඝාතනය කිරීම සම්බන්ධයෙන් 10 ශ්‍රේණියේ සිසුන් දෙදෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
නල්ගොණ්ඩා දිස්ත්‍රික්කයේ නාගාර්ජුනා පබ්ලික් පාසලේ විදුහල්පතිනිය සහ අධ්‍යක්ෂවරිය වූ කල්ලු රූපා රෙඩ්ඩි අගෝස්තු 12 වැනිදා සිය නිවසේදී මියගොස් සිටියදී සොයාගෙන ඇත. හයිද්‍රාබාද්හි සිටි ඇගේ සැමියා ඇය දුරකථන ඇමතුම්වලට ප්‍රතිචාර නොදැක්වීම හේතුවෙන් ඇති වූ සැකය මත පොලිසියට දැනුම් දී තිබේ.
ඇගේ සිරුරේ පිහි ඇනුම් තුවාල 27ක් තිබූ බව පොලිසිය සඳහන් කළේය.
සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් කණ්ඩායම් පහක් යොදවා CCTV දර්ශන, අධිකරණ වෛද්‍ය සාක්ෂි, ඇඟිලි සලකුණු සහ තාක්ෂණික දත්ත පරීක්ෂා කර ඇති අතර පුද්ගලයන් 80කට වැඩි පිරිසකගෙන් ප්‍රශ්න කර තිබේ.
විමර්ශනවලදී වැදගත් ඉඟියක් ලැබී ඇත්තේ රෙඩ්ඩි මියයාමට පෙර සිය නැන්දා සමඟ පැවැත්වූ අවසන් දුරකථන සංවාදයෙනි. එහිදී ඇය දුරකථනය විසන්ධි වීමට ටික වේලාවකට පෙර “බාබු” යන වචනය භාවිත කළ බව පොලිසිය පැවසීය.
ඒ අනුව විමර්ශකයන් පාසලේ සිසුන් සම්බන්ධයෙන් අවධානය යොමු කර ඇති අතර, පාසලේ 10 ශ්‍රේණියේ සිසුන් පස්දෙනෙකු එම කාලය තුළ පාසලට නොපැමිණ ඇති බව හඳුනාගෙන තිබේ. ඔවුන් අතරින් සිසුන් දෙදෙනෙකු මෑතකදී අසාමාන්‍ය ලෙස විශාල මුදලක් වැය කරමින් සාද පවත්වා ඇති බවද අනාවරණය වී තිබේ.
එම සිසුන් දෙදෙනා අත්අඩංගුවට ගත් පසු විදුහල්පතිනියගේ නිවසින් මුදල් සොරකම් කිරීමට සැලසුම් කළ බවට පාපොච්චාරණය කළ බව පොලිසිය සඳහන් කළේය.
මීට පෙර එම සිසුන්ගේ නේවාසිකාගාර බෑග්වල තිබී මුදල් සහ ජංගම දුරකථනයක් හමුවීම හේතුවෙන් රෙඩ්ඩි ඔවුන්ට අවවාද කර තිබූ බවද විමර්ශකයන් අනාවරණය කරගෙන තිබේ. පසුව ඔවුන්ගේ දෙමාපියන් දැනුවත් කර ඔවුන් නේවාසිකාගාරයෙන් ඉවත් කර දෛනිකව පාසලට පැමිණෙන සිසුන් බවට පත්කර තිබුණි.
පොලිසියට අනුව, සැකකරුවන් දින කිහිපයක් තිස්සේ සොරකම සැලසුම් කර තිබූ අතර ඒ සඳහා පිහියක් සහ අත් ආවරණද සූදානම් කරගෙන තිබේ.
එක් සිසුවෙකු රෙඩ්ඩිගේ නිවසට ඇතුළු වී රුපියල් 250,000ක මුදලක් සොයාගෙන ඇති අතර, පිටව යාමට උත්සාහ කිරීමේදී ඔහුගේ මුහුණු ආවරණය ගැලවී ගොස් තිබේ. එහිදී විදුහල්පතිනිය ඔහුව හඳුනාගැනීමෙන් අනතුරුව ඇයට පිහි ඇනුම් 27ක් සිදුකර ඇති බව පොලිසිය පැවසීය.
සැකකරුවන් මුදල් රැගෙන පලාගොස් සාක්ෂි විනාශ කිරීමටද උත්සාහ කර ඇති අතර, ලේ තැවරුණු ඇඳුම් ඇතුළු සාක්ෂි සඟවා ඇති බව විමර්ශකයන් සඳහන් කළේය. පසුව ඔවුන් ගෝවා ප්‍රාන්තයට ගොස් ඇති බවද පොලිසිය අනාවරණය කරගෙන තිබේ.
පොලිසිය විසින් රුපියල් 154,000ක මුදලක්, ඉන් කොටසක් ලේ තැවරුණු නෝට්ටු ඇතුළුව, සොරකම් කළ මුදලින් මිලදී ගත් බවට සැක කෙරෙන iPhone දුරකථනයක් සහ වින්දිත විදුහල්පතිනියගේ ජංගම දුරකථනයද සොයාගෙන තිබේ.
අපරාධය සිදුකිරීමට පෙර ඉක්මනින් මුදල් උපයාගත හැකි ආකාර සම්බන්ධයෙන් සැකකරුවන් අන්තර්ජාලය ඔස්සේ සෙවීම් සිදුකර ඇති බවද පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේය.


