පාඩු ලබන රාජ්‍ය ආයතන 33ක් ඈවර කිරීමේ මෙහෙයුම අරඹයි: ප්‍රධාන රාජ්‍ය ආයතන 51ක ලාභය රුපියල් බිලියන 259 පනී

තෝරාගත් රාජ්‍ය ව්‍යවසායන් (SOEs) 33ක් සම්පූර්ණයෙන්ම ඈවර කිරීමේ (Liquidation) නීතිමය ක්‍රියාවලිය මේ වන විට ක්‍රියාත්මක වෙමින් පවතින බව මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය නිවේදනය කරයි.
පසුගිය මාර්තු මාසයේදී අමාත්‍ය මණ්ඩල අනුමැතිය යටතේ ස්ථාපිත කරන ලද විශේෂිත ‘රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ ඒකකයේ’ (State-Owned Enterprise Reform Unit) සෘජු අධීක්ෂණය යටතේ මෙම ඈවර කිරීමේ කටයුතු සිදුකෙරේ.
මේ අතර, 2026 අයවැය යෝජනාවලට අනුකූලව, තෝරාගත් රාජ්‍ය ව්‍යවසායන්හි සේවකයින් වෙනුවෙන් දීර්ඝ කාලයක් තිස්සේ නොගෙවා පැහැර හැර තිබූ සේවක අර්ථසාධක අරමුදල (EPF), සේවක භාරකාර අරමුදල (ETF) සහ පාරිතෝෂික (Gratuity) හිඟ මුදල් පියවීම මහා භාණ්ඩාගාරය විසින් සක්‍රීයව සිදුකරමින් පවතියි. මෙම කටයුත්ත වෙනුවෙන් වෙන්කර තිබූ රුපියල් බිලියන 5ක සමස්ත ප්‍රතිපාදන අතුරින් රුපියල් බිලියන 2.8ක මුදලක් 2026 අගෝස්තු මස අවසන් වන විට සම්පූර්ණයෙන්ම ගෙවා නිමකර ඇත.
අර්බුද මැද ප්‍රධාන රාජ්‍ය ආයතන 51ක ලාභය බිලියන 259 පනී
මැදපෙරදිග කලාපයේ උත්සන්න වූ යුද ගැටුම් හේතුවෙන් අමුද්‍රව්‍ය මිල ඉහළ යාම, සැපයුම් ජාලයන්ට බාධා එල්ල වීම සහ විදේශීය ඇණවුම් අවලංගු වීම වැනි දැඩි අභියෝගයන්ට දෙවැනි කාර්තුවේදී මුහුණදීමට සිදුවුවද, මෙරට ප්‍රධාන පෙළේ රාජ්‍ය ව්‍යවසායන් 51ක් 2026 වසරේ මුල් මාස හය තුළ රුපියල් බිලියන 259.3ක දැවැන්ත ඒකාබද්ධ ශුද්ධ ලාභයක් වාර්තා කර තිබේ.
මෙය 2025 වසරේ අනුරූප කාලසීමාව තුළ එම ආයතන වාර්තා කළ රුපියල් බිලියන 227.8ක ඒකාබද්ධ ලාභයට සාපේක්ෂව රුපියල් බිලියන 31.5ක කැපී පෙනෙන ලාභ වර්ධනයක් සනිටුහන් කිරීමකි.




