විනාශකාරී ගංවතුර තත්ත්වය හේතුවෙන් ජීවිත හානි සිදුව ඇති නේපාලයේ ගලවා ගැනීමේ සහ පිරිසිදු කිරීමේ මෙහෙයුම් සඳහා සහාය වීමට ශ්‍රී ලංකාව සූදානම් බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.
ජනාධිපතිවරයා X සමාජ මාධ්‍ය ඔස්සේ පළ කළ පණිවිඩයක සඳහන් කර ඇත්තේ නේපාල බලධාරීන් හදිසි තත්ත්වයට සහ ඉන් අනතුරුව ඇතිවන බලපෑම්වලට මුහුණ දෙමින් සිටින අවස්ථාවේදී ශ්‍රී ලංකාව සිය සහාය ලබාදීමට සූදානම් බවයි.
“නේපාලයේ විනාශකාරී ගංවතුර හේතුවෙන් සිදුව ඇති ඛේදනීය ජීවිත හානි පිළිබඳව දැනගැනීමට ලැබීමෙන් මම දැඩි ලෙස කනගාටුවට පත්වෙමි. ගලවා ගැනීමේ සහ පිරිසිදු කිරීමේ මෙහෙයුම් සඳහා නේපාලයට සහාය වීමට ශ්‍රී ලංකාව සූදානම්,” යැයි ජනාධිපතිවරයා සඳහන් කර තිබේ.
මීට මාස 10කට පමණ පෙර ශ්‍රී ලංකාවද මාරාන්තික සුළි කුණාටුවකට මුහුණ දුන් බව සිහිපත් කළ ජනාධිපතිවරයා, එම අත්දැකීම හේතුවෙන් නේපාල ජනතාව අත්විඳින ශෝකය ශ්‍රී ලංකාවටද හොඳින් අවබෝධ කරගත හැකි බව පැවසීය.
“මීට මාස 10කට පෙර මාරාන්තික සුළි කුණාටුවකින් පසුව තවමත් යථා තත්ත්වයට පත්වෙමින් සිටින ජාතියක් ලෙස, නේපාල ජනතාවගේ ශෝකය අපිද බෙදාගනිමු,” යැයි ඔහු සඳහන් කළේය.
නේපාලයේ නායකත්වය සහ ජනතාව වෙත ශ්‍රී ලංකාව වෙනුවෙන් සිය බලවත් ශෝකයද ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පළ කළේය.


