ශ්‍රී ලංකා සහ ඉන්දීය යුද හමුදා ඉංජිනේරුවන් එක්ව කුරුණෑගලදී අඩි 100ක බේලි පාලමක් ඉදිකරයි

ශ්‍රී ලංකා සහ ඉන්දීය යුද හමුදා ඉංජිනේරුවන් එක්ව කුරුණෑගල කබල්ලාව පාලම් භූමියේ අඩි 100ක බේලි පාලමක් සාර්ථකව ඉදිකර අවසන් කර තිබේ.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ 1 ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ (1 SLE) භට පිරිස් සහ ඉන්දීය යුද හමුදා ඉංජිනේරු කාර්ය සාධක බලකාය (ETF) එක්ව මෙම පාලම ඉදිකළ බවයි.

පාලමේ ඉදිකිරීම් කටයුතු අගෝස්තු 22 වැනිදා ආරම්භ කර ඇති අතර, අගෝස්තු 24 වැනිදා වනවිට එය සම්පූර්ණයෙන්ම අවසන් කර තිබේ.

අලුතින් ඉදිකළ බේලි පාලම අඩි 100ක දිගකින් සහ අඩි 17ක පළලකින් සමන්විත වේ.

මෙම පාලම හේතුවෙන් ප්‍රදේශයේ ප්‍රවාහන සම්බන්ධතා වැඩිදියුණු වී ජනතාවගේ ගමනාගමනය පහසු වනු ඇතැයි බලධාරීහු පවසති.

මෙම ව්‍යාපෘතිය සාර්ථකව අවසන් කිරීම තුළින් ශ්‍රී ලංකා යුද හමුදා ඉංජිනේරු බලකාය සහ ඉන්දීය යුද හමුදා ඉංජිනේරු කාර්ය සාධක බලකාය අතර පවතින තාක්ෂණික දැනුම, වෘත්තීයභාවය සහ සහයෝගීතාව පෙන්නුම් කරන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *