නේපාල-ටිබෙට් දේශසීමාවේ මහා ගංවතුර හා නායයෑම්වලින් 273ක් මරුට – 1,300කට අධික පිරිසක් අතුරුදන්

නේපාල-ටිබෙට් දේශසීමා ප්‍රදේශයේ ප්‍රජාවන් දැඩි ලෙස විනාශයට පත්කරමින් සිදුවූ අකස්මික ගංවතුර සහ නායයෑම් හේතුවෙන් අවම වශයෙන් පුද්ගලයින් 273 දෙනෙකු මියගොස් 1,300කට අධික පිරිසක් අතුරුදන්ව ඇති බව වාර්තා වේ.

බදාදා සිදුවූ මෙම ව්‍යසනයට හේතුවී ඇත්තේ හිමාලය ප්‍රදේශයේ විශාල අයිස් සහ ගල් කඳු කොටසක් කඩා වැටීමෙන් ජලය, මඩ සහ සුන්බුන් විශාල ප්‍රමාණයක් කඳු නිම්න ඔස්සේ වේගයෙන් පහළට ගලා ඒම බව සඳහන් වේ.

නේපාලයේ පුද්ගලයින් 270 දෙනෙකු මියගොස් 826 දෙනෙකු අතුරුදන්ව ඇති අතර, ටිබෙට් බලධාරීන් සඳහන් කර ඇත්තේ පුද්ගලයින් තිදෙනෙකු මියගොස් තවත් 558 දෙනෙකු අතුරුදන්ව ඇති බවයි.

හිමාලය ප්‍රදේශය හරහා ගමන් කරමින් සිටි සංචාරකයින් සහ වන්දනාකරුවන් ඇතුළු විදේශිකයින් සිය ගණනක්ද අතුරුදන් වූ පිරිස අතර සිටින බව වාර්තා වේ. අතුරුදන්වූවන් අතර ඉන්දියාව, එක්සත් ජනපදය, මැලේසියාව, ඕස්ට්‍රේලියාව, බ්‍රිතාන්‍යය සහ කැනඩාව යන රටවල පුරවැසියන්ද සිටින බව සඳහන් වේ.

මාර්ග සහ පාලම් විනාශ වීම හේතුවෙන් බොහෝ ප්‍රදේශවලට ළඟාවීම දුෂ්කර වී ඇති අතර, මුදාගැනීමේ කණ්ඩායම්වලට සහාය වීම සඳහා හෙලිකොප්ටර් යානා යොදාගෙන තිබේ.

නේපාලයේ මුදාගැනීමේ මෙහෙයුම් සඳහා ආරක්ෂක අංශ සාමාජිකයින් 5,000කට අධික පිරිසක් එක්ව සිටින අතර, විපතට පත් ප්‍රදේශවලින් පුද්ගලයින් 100කට වැඩි පිරිසක් මේ වනවිට බේරාගෙන ඇත.

දරුණු ලෙස විපතට පත් ප්‍රදේශවලින් බොහෝ දුරින් පහළ ප්‍රදේශවලින්ද මළ සිරුරු සොයාගෙන ඇති බැවින් මරණ සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බවට බිය පළ වී තිබේ.

මේ අතර, ටිබෙට් ප්‍රදේශයේ ඉහළින් පිහිටි ජලාශයක්ද ජලයෙන් පිරී ඉහළ යමින් පවතින බැවින්, තවදුරටත් ගංවතුර හෝ නායයෑම් ඇතිවීමෙන් මුදාගැනීමේ මෙහෙයුම්වලට බාධා ඇතිවිය හැකි බවට බලධාරීහු අවධානයෙන් පසුවෙති.

ව්‍යසනය සිදුවූ නිශ්චිත සිදුවීම් දාමය පිළිබඳ විද්‍යාඥයින් තවදුරටත් පරීක්ෂණ සිදුකරමින් සිටින නමුත්, දැනට පවතින සාක්ෂි අනුව හිමාලය ප්‍රදේශයේ අයිස් සහ ගල් විශාල ප්‍රමාණයක් කඩා වැටීමෙන් ඇතිවූ ප්‍රබල ජල ප්‍රවාහයක් මගින් දේශසීමා ප්‍රදේශය පුරා ගංවතුර සහ සුන්බුන් ප්‍රවාහයක් ඇතිවී මෙම දැවැන්ත විනාශය සිදුවී ඇති බව පෙනී යයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *