නීති විරෝධී මත්ද්‍රව්‍ය ජාවාරමෙන් දේපළ උපයාගත් බවට 76 හැවිරිදි අයෙකු අත්අඩංගුවට

නීති විරෝධී මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් මුදලින් දේපළ හා වත්කම් අත්පත් කරගත් බවට එල්ල වන චෝදනා සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයකට අදාළව 76 හැවිරිදි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයට අනුයුක්ත නීති විරෝධී වත්කම් විමර්ශන ඒකකයේ නිලධාරීන් විසින් සිකුරාදා (11) සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු බොරලැස්ගමුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව පොලිසිය සඳහන් කළේය.

වැඩිදුර විමර්ශනවලදී ගම්පහ ප්‍රදේශයේ පිහිටි සුඛෝපභෝගී නිවාස සංකීර්ණයක රුපියල් මිලියන 30කට ආසන්න වටිනාකමකින් යුත් නිවසක් සැකකරුගේ නමට ලියාපදිංචි කර ඇති බව අනාවරණය වී තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය වැඩිදුර විමර්ශන සිදුකරමින් සිටී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *