කළුතර නාගොඩ ශික්ෂණ රෝහලේ ප්‍රතිසංස්කරණය කළ ඒකක සහ වැඩිදියුණු කළ යටිතල පහසුකම් රැසක් රෝගී සත්කාර සේවා සඳහා නිල වශයෙන් විවෘත කර තිබේ.
සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම පහසුකම් රෝගී සත්කාර සේවා සඳහා විවෘත කෙරිණි.
සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ, රෝහලේ සමස්ත ධාරිතාව ශක්තිමත් කරමින් වඩාත් ගුණාත්මක, කාර්යක්ෂම සහ සුවපහසු සෞඛ්‍ය සේවාවක් ලබාදීමේ අරමුණින් මෙම සංවර්ධන වැඩසටහන සඳහා රුපියල් මිලියන 134කට වැඩි මුදලක් ආයෝජනය කර ඇති බවයි.
මෙහිදී බාහිර රෝගී අංශය (OPD), ප්‍රධාන ඖෂධ ගබඩාව, සායන අංශ, වාට්ටු වෙත දිවෙන කොරිඩෝ, 21 සහ 22 වාට්ටු, සෞඛ්‍ය අධ්‍යාපන හා මහජන සෞඛ්‍ය සේවා ගොඩනැගිල්ල සහ මනෝචිකිත්සක ප්‍රතිකාර වාට්ටුව ඇතුළු අංශ රැසක් වැඩිදියුණු කර තිබේ.
මීට අමතරව, වෛද්‍ය නිල නිවාස, හෙද විවේකාගාර සහ කනිෂ්ඨ කාර්ය මණ්ඩල විවේකාගාර ප්‍රතිසංස්කරණය කර ඇති අතර, අලුතින් ඉදිකළ සුළු සේවා පරිපාලන කාර්යාලයක්ද විවෘත කර ඇත.
අලුත්වැඩියා කළ ත්‍රිරෝද රථයක්ද රෝහලේ භාවිතය සඳහා මෙහිදී භාරදී තිබේ.
අමාත්‍ය ජයතිස්ස මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසුවේ රාජ්‍ය මුදල් කාර්යක්ෂමව කළමනාකරණය කිරීම සහ ප්‍රමුඛතා හඳුනාගෙන කටයුතු කිරීම හේතුවෙන් සෞඛ්‍ය සේවාව සඳහා අවශ්‍ය මානව සම්පත් බඳවා ගැනීමට හැකි වී ඇති බවයි.
මීට පෙර අතරමග නතර වූ රෝහල් ඉදිකිරීම් ව්‍යාපෘතිද මේ වන විට නැවත ආරම්භ කර ඇති බවත්, එම ව්‍යාපෘති වසර දෙකක් ඇතුළත අවසන් කිරීම සඳහා රුපියල් බිලියන 45ක් වෙන් කර ඇති බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.
නවීන වෛද්‍ය උපකරණද රෝහල් වෙත ලබාදෙමින් පවතින බව පැවසූ ඔහු, රුපියල් මිලියන 3,150ක වියදමින් නවීන හෘද කැතීටරීකරණ රසායනාගාර 16ක් (Cath Labs) මේ වන විටත් රෝහල් වෙත ලබාදී ඇති බව සඳහන් කළේය.
මීට අමතරව CT සහ MRI ස්කෑන් යන්ත්‍රද රෝහල් වෙත ලබාදෙමින් පවතින අතර, ලබන වසර සඳහා අවශ්‍ය වෛද්‍ය උපකරණ පිළිබඳ ලැයිස්තුවක්ද දැනටමත් සකස් කර ඇති බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.


