ඥානසාර හිමියන් නිදහස් කරන ලෙස ඉල්ලා විරෝධතාවයේ නිරත වූ භික්ෂූන් වහන්සේලා බුද්ධශාසන අමාත්‍යාංශයට!

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් නිදහස් කරන ලෙස ඉල්ලා කොළඹ ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවයේ නිරත වූ භික්ෂූන් වහන්සේලා පිරිසක්   බුද්ධශාසන අමාත්‍යාංශයට පැමිණ තිබේ.

වාර්තා වන පරිදි, විරෝධතාවයේ නිරත වූ භික්ෂූන් වහන්සේලා සමඟ සාකච්ඡාවක් පැවැත්වීමට අමාත්‍යාංශය අවස්ථාව සලසා ඇති අතර, ඒ සඳහා නියෝජිත භික්ෂූන් වහන්සේලා සිව්නමක් සහභාගි වී තිබේ.

අද පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලය අසල ඉදිකර තිබූ තාවකාලික ආවරණ ඉවත් කිරීමෙන් අනතුරුව මෙම පියවර ගෙන ඇත. එම ස්ථානයේ විරෝධතා පැවැත්වීම තහනම් කරමින් අධිකරණය නියෝගයක් නිකුත් කර තිබීම ඊට හේතුවයි.

ජනාධිපති ලේකම් කාර්යාලය පිහිටි ප්‍රදේශය අධි ආරක්ෂිත කලාපයක් ලෙස නම් කර ඇති බැවින්, එම ස්ථානය අසල පැවැත්වෙන විරෝධතාව සම්බන්ධයෙන් පොලිසිය ඉදිරිපත් කළ කරුණු සැලකිල්ලට ගනිමින් කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය මෙම නියෝගය නිකුත් කර තිබිණි.

අධිකරණ නියෝගය අනුව පොලිසිය එම නියෝගය විරෝධතාකරුවන්ට කියවා දී භාර දී තිබේ. අනතුරුව ගාලු පාර අසල ඉදිකර තිබූ තාවකාලික ඉදිකිරීම් ඉවත් කිරීමට විරෝධතාකරුවන් කටයුතු කර ඇත.

“සිවුරට සාධාරණය, නිදහස සඳහා පා ගමන” යන තේමාව යටතේ මෙම විරෝධතාව ඔක්තෝබර් 10 වැනිදා මහනුවර ශ්‍රී දළදා මාලිගා පරිශ්‍රයෙන් ආරම්භ කර තිබිණි. එහි ප්‍රධාන ඉල්ලීම වී ඇත්තේ ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් නිදහස් කිරීමයි.

විරෝධතාවයේ නිරත භික්ෂූන් වහන්සේලා  ජනාධිපති ලේකම් කාර්යාලය අසලට පැමිණ තිබුණේ ඥානසාර හිමියන් නිදහස් කිරීම සම්බන්ධයෙන් රජයෙන් නිශ්චිත පිළිතුරක් ඉල්ලා සිටිමිනි.

අනතුරුව එම ස්ථානයේ අඛණ්ඩව රැඳී සිටිමින් සත්‍යග්‍රහයක නිරත වූ භික්ෂූන් වහන්සේලා රාත්‍රිය ද එහි ගත කර තිබේ.

මේ අතර, තමන් මුහුණ දී ඇති ගැටලු අධිකරණයට ඉදිරිපත් කිරීමට භික්ෂූන් වහන්සේලා පියවර ගත්තද, ඒ සඳහා අවශ්‍ය නීතිමය අවසරය හෝ සහනය නොලැබුණු බව පූජ්‍ය බලංගොඩ කස්සප හිමියෝ පැවසූහ.

සිවුරු පූජා කිරීම සම්බන්ධ කටයුතුවල වගකීම බෞද්ධ කටයුතු කොමසාරිස්වරයා සතු බව ද උන්වහන්සේ වැඩිදුරටත් සඳහන් කළහ.

මෙම කාරණයට අදාළ අවශ්‍ය කටයුතු ඉදිරියට ගෙන යාම සඳහා අද රාත්‍රියේ ද බුද්ධශාසන අමාත්‍යාංශය අසල රැඳී සිටීමට තමන් වහන්සේලා අපේක්ෂා කරන බව පූජ්‍ය කස්සප හිමියෝ පැවසූහ.

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *