ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සම්බන්ධයෙන් බන්ධනාගාරයේදී සහ අධිකරණයට ඉදිරිපත් කිරීමේදී උන්වහන්සේගේ ඇඳුම් සම්බන්ධයෙන් අනුගමනය කළ ක්‍රියාපටිපාටිය ඇතුළු සියලු කටයුතු බන්ධනාගාර ආඥා පනත සහ බන්ධනාගාර රෙගුලාසිවලට අනුකූලව සිදුකර ඇති බව කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.
කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී ඥානසාර හිමියන් සම්බන්ධයෙන් අනුගමනය කළ ක්‍රියාපටිපාටිය සහ පසුව උන්වහන්සේ සිවිල් ඇඳුමින් අධිකරණයට ඉදිරිපත් වීම පිළිබඳව මාධ්‍යවේදීන් කළ විමසීමකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
ඥානසාර හිමියන් සම්බන්ධයෙන් කිසිදු විශේෂ ක්‍රියාපටිපාටියක් අනුගමනය කර නොමැති බවද ඔහු අවධාරණය කළේය.
“බන්ධනාගාර ආඥා පනත යටතේ අනුගමනය කළ යුතු ක්‍රියාපටිපාටියක් තිබෙනවා. මෙම සිද්ධියේදී කිසිදු විශේෂ දෙයක් සිදුකරලා නැහැ,” යනුවෙන් ඔහු පැවසීය.
දැනට බන්ධනාගාරගතව සිර දඬුවම් විඳින බෞද්ධ භික්ෂූන් වහන්සේලා 63 දෙනෙකු සම්බන්ධයෙන්ද අනුගමනය කර ඇත්තේ එම ක්‍රියාපටිපාටියම බව අමාත්‍යවරයා සඳහන් කළේය.
“දැනට බන්ධනාගාරගතව සිර දඬුවම් විඳින බෞද්ධ භික්ෂූන් වහන්සේලා 63 දෙනා සම්බන්ධයෙන් අනුගමනය කර ඇති ක්‍රියාපටිපාටියම ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සම්බන්ධයෙන්ද අනුගමනය කර තිබෙනවා,” යනුවෙන් ජයතිස්ස මහතා පැවසීය.
එම ක්‍රියාපටිපාටිය ඥානසාර හිමියන්ට පමණක් අදාළ වූවක් නොවන බවත්, එය බන්ධනාගාර ආඥා පනත යටතේ සාමාන්‍යයෙන් අනුගමනය කරන ක්‍රියාවලියේ කොටසක් බවත් ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.


