ජෝර්ජියාවේ ශ්‍රී ලංකා ගෞරවනීය කොන්සල්වරුන් දෙදෙනෙකු පත් කෙරේ

ශ්‍රී ලංකාව සහ ජෝර්ජියාව අතර රාජ්‍ය තාන්ත්‍රික හා කොන්සියුලර් සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමේ අරමුණින් ජෝර්ජියාවේ නව ගෞරවනීය කොන්සල්වරුන් දෙදෙනෙකු පත් කර තිබේ.

අන්කාරාහි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සඳහන් කළේ, ජෝර්ජියාවේ අගනුවර වන ටිබිලිසිහි ශ්‍රී ලංකා ගෞරවනීය කොන්සල්වරිය ලෙස නිනෝ මක්විලඩ්සේ මහත්මියත්, බටුමි නගරය සඳහා ගෞරවනීය කොන්සල්වරයා ලෙස මිඛෙයිල් ඩ්සාඩ්සමියා මහතාත් පත් කර ඇති බවයි.

මක්විලඩ්සේ මහත්මියගේ කොන්සියුලර් බල ප්‍රදේශයට ටිබිලිසි, කකෙටි, ක්වෙමෝ කාර්ට්ලි, මිස්කෙටා-මටියානෙටි සහ ශිඩා කාර්ට්ලි ප්‍රදේශ ඇතුළත් වේ.

ඩ්සාඩ්සමියා මහතාගේ බල ප්‍රදේශයට අජාරා ස්වයං පාලන ජනරජය, ගුරියා, ඉමෙරෙටි, සමෙග්‍රෙලෝ-සෙමෝ ස්වානෙටි, රාචා-ලෙච්ඛුමි සහ ක්වෙමෝ ස්වානෙටි මෙන්ම සම්ට්ස්ඛේ-ජාවඛෙටි ප්‍රදේශ ඇතුළත් වේ.

තුර්කියේ සිට ජෝර්ජියාව සඳහා ශ්‍රී ලංකා තානාපතිවරිය ලෙස කටයුතු කරන නිලූකා කදුරුගමුව මහත්මිය විසින් නව ගෞරවනීය කොන්සල්වරුන් දෙදෙනාට ඔවුන්ගේ පත්වීම් සහතික අන්කාරාහි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේදී සැප්තැම්බර් 22 වැනිදා භාර දී තිබේ.

පත්වීම් සහතික භාරදීමට පෙර තානාපතිවරිය විසින් ඔවුන්ගේ වගකීම් සහ ශ්‍රී ලංකාව හා ජෝර්ජියාව අතර සබඳතා ශක්තිමත් කිරීමේදී ඔවුන්ගෙන් අපේක්ෂා කරන කාර්යභාරය පිළිබඳව දැනුවත් කර ඇත.

එමෙන්ම, ජෝර්ජියාවේ වෙසෙන ශ්‍රී ලාංකිකයන්ගේ අවශ්‍යතා සහ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා කටයුතු කිරීමේ වැදගත්කම පිළිබඳවද ඔවුන් දැනුවත් කර තිබේ.

මෙම පත්වීම් හරහා ජෝර්ජියාව තුළ ශ්‍රී ලංකාවේ නියෝජනය සහ කොන්සියුලර් සේවා ප්‍රවේශය ශක්තිමත් වනු ඇති අතර, දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතාවලටද නව ප්‍රබෝධයක් ලැබෙනු ඇතැයි ශ්‍රී ලංකා රජය පවසයි.

ගෞරවනීය කොන්සල්වරුන් ශ්‍රී ලංකා රජයෙන් කිසිදු වැටුපක් හෝ පාරිතෝෂිකයක් ලබා නොගෙන ස්වේච්ඡාවෙන් එම කාර්යය ඉටු කරන අතර, ඔවුන්ගේ වෘත්තීය සබඳතා සහ ප්‍රාදේශීය දැනුම භාවිත කරමින් ශ්‍රී ලංකා රාජ්‍ය තාන්ත්‍රික දූත මණ්ඩලවල කටයුතු සඳහා සහාය ලබාදෙති.

ශ්‍රී ලංකාවේ ආර්ථික හා සංචාරක අවශ්‍යතා ප්‍රවර්ධනය කිරීම, දෙරට අතර සබඳතා ශක්තිමත් කිරීම සහ විදේශයන්හි සිටින ශ්‍රී ලාංකිකයන්ට අවශ්‍ය සහාය ලබාදීම ඔවුන්ගේ ප්‍රධාන වගකීම් අතර වේ.

මේ වනවිට ජෝර්ජියාවේ ශ්‍රී ලාංකික සිසුන් 400කට ආසන්න පිරිසක් සිටින අතර, ඔවුන්ගෙන් බහුතරය වෛද්‍ය අධ්‍යාපනය හදාරමින් සිටින බව ශ්‍රී ලංකා රජය සඳහන් කරයි.

ගෞරවනීය කොන්සල්වරුන් දෙදෙනා සඳහා ශ්‍රී ලංකාව විසින් ඉදිරිපත් කළ නාමයෝජනා පිළිගැනීම සම්බන්ධයෙන් ජෝර්ජියානු රජය ලබාදුන් සහයෝගය සහ සුහදත්වය පිළිබඳවද ශ්‍රී ලංකා රජය සිය ස්තූතිය පළ කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *