ගම්පහ දිස්ත්‍රික්කයේ මුස්ලිම් පල්ලි සංවර්ධනයට රු. මිලියන 10ක්

ගම්පහ දිස්ත්‍රික්කයේ මුස්ලිම් පල්ලි සංවර්ධනය කිරීම සඳහා රජය රුපියල් මිලියන 10ක මුදලක් වෙන් කර ඇති බව බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය පවසයි.

42 වැනි ජාතික මිලාද්-උන්-නබි සැමරුම් වැඩසටහනට සමගාමීව මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරෙන අතර, ආගමික ආයතන ශක්තිමත් කිරීම සහ සහජීවනය ප්‍රවර්ධනය කිරීම එහි අරමුණ වී තිබේ.

බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය සහ මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව එක්ව මෙම වැඩසටහන ක්‍රියාත්මක කරයි.

මේ අතර, ජාතික මිලාද්-උන්-නබි සැමරුම් වැඩසටහනට සමගාමීව “අපේ පල්ලියට සාදරයෙන් පිළිගනිමු” යන තේමාව යටතේ සංහිඳියා වැඩසටහනක්ද සංවිධානය කර තිබේ.

මෙම වැඩසටහන හරහා වෙනත් ආගම්වලට අයත් පුද්ගලයින්ට මුස්ලිම් පල්ලියකට පැමිණ එහි සංස්කෘතිය, ඉතිහාසය සහ ආගමික චාරිත්‍ර පිළිබඳ අවබෝධයක් ලබාගැනීමට අවස්ථාව සැලසේ.

අමාත්‍ය විජිත හේරත් මහතා ෆේස්බුක් සටහනක් මගින් ජනතාවට මෙම වැඩසටහනට සහභාගී වන ලෙස ආරාධනා කර ඇති අතර, අන්‍යෝන්‍ය අවබෝධය, ගෞරවය සහ සුහදත්වය ශක්තිමත් කරමින් එක්සත් ශ්‍රී ලංකාවක් සඳහා සංහිඳියාවේ පාලම් ගොඩනැගීම මෙහි අරමුණ බව සඳහන් කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *