කොළඹ සිට රියාද් සහ දම්මාම් වෙත ශ්‍රීලන්කන් ගුවන් ගමන් ඔක්තෝබර් 24 දක්වා අත්හිටුවයි

කලාපයේ පවතින ආරක්ෂක තත්ත්වය හේතුවෙන් කොළඹ සහ සෞදි අරාබියේ රියාද් හා දම්මාම් නගර අතර සියලුම ගුවන් ගමන් අත්හිටුවීම 2026 ඔක්තෝබර් 24 වැනිදා දක්වා දීර්ඝ කළ බව ශ්‍රීලන්කන් ගුවන් සේවය නිවේදනය කර තිබේ.

නිකුත් කළ නිවේදනයකින් ජාතික ගුවන් සේවය සඳහන් කළේ, මගීන්ගේ සහ කාර්ය මණ්ඩලයේ ආරක්ෂාව සැලකිල්ලට ගනිමින් මෙම තීරණය ගත් බවයි.

වාණිජ ගුවන් ගමන් ක්‍රියාත්මක කිරීමට සුදුසු තත්ත්වයක් පවතින බවට තක්සේරු කිරීමෙන් පසු ගමනාන්ත දෙක වෙත ගුවන් සේවා යළි ආරම්භ කරන බවද ශ්‍රීලන්කන් ගුවන් සේවය පැවසීය.

මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු ලබාගැනීමට අපේක්ෂා කරන මගීන්ට ශ්‍රී ලංකාව තුළ සිටින විට 1979 ක්ෂණික ඇමතුම් අංකය හෝ විදේශයන්හි සිටින විට +94 11 777 1979 අංකය ඔස්සේ ගුවන් සේවය සම්බන්ධ කරගත හැකිය.

එමෙන්ම +94 74 444 1979 WhatsApp අංකය ඔස්සේද (පණිවිඩ සඳහා පමණි), තම සංචාරක නියෝජිතයන් හරහා හෝ ශ්‍රීලන්කන් ගුවන් සේවයේ නිල වෙබ් අඩවිය වන www.srilankan.com වෙත පිවිසීමෙන්ද තොරතුරු ලබාගත හැකිය.

ගුවන් ගමන් අත්හිටුවීම දීර්ඝ කිරීමෙන් බලපෑමට ලක්වූ මගීන් දැක්වූ අවබෝධය සහ සහයෝගය වෙනුවෙන් ගුවන් සේවය සිය ස්තුතිය පළ කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *