දකුණු ආසියාවේ කාර්යබහුලම සහ උපායමාර්ගිකව වැදගත්ම සමුද්රීය වෙළෙඳ මධ්යස්ථානයක් වන කොළඹ වරායේ මෙහෙයුම් ඩිජිටල්කරණය කිරීම සඳහා ඇමරිකා එක්සත් ජනපදය ඊයේ (16) ඇමරිකානු ඩොලර් මිලියන 17ක ආයෝජනයක් නිවේදනය කළේය.
ශ්රී ලංකාවේ ඇමරිකානු තානාපති කාර්යාලය නිකුත් කළ නිවේදනයකට අනුව, ශ්රී ලංකා වරාය අධිකාරිය (SLPA) සමඟ එක්ව මෙම ව්යාපෘතිය ක්රියාත්මක කෙරේ. ඒ යටතේ ඇමරිකානු තාක්ෂණය භාවිත කරමින් නව ඩිජිටල් පද්ධති හඳුන්වා දීමට නියමිතය. වරාය මෙහෙයුම් විධිමත් කිරීම, භාණ්ඩ ප්රවාහනය වේගවත් කිරීම සහ නැව් ප්රමාදයන් හා ප්රවාහන පිරිවැය අඩු කිරීම එහි අරමුණයි.
මෙම ඇමරිකානු අරමුදල් සහිත ව්යාපෘතිය යටතේ එකිනෙකට සම්බන්ධ ඩිජිටල් පද්ධති දෙකක් සංවර්ධනය කෙරේ. ඒවා නම් සමුද්රීය තනි කවුළු පද්ධතිය (Maritime Single Window) සහ වරාය ප්රජා පද්ධතිය (Port Community System) යි. මෙම පද්ධති මඟින් කොළඹ වරායේ සම්බන්ධීකරණ කටයුතු වැඩිදියුණු කර භාණ්ඩ නිෂ්කාශනය හා සැකසීම වේගවත් කිරීමට අපේක්ෂා කෙරේ.
නැව් සමාගම්, රේගු නිලධාරීන්, ආගමන බලධාරීන්, වරාය මෙහෙයුම්කරුවන් සහ ව්යාපාරික ආයතන අතර තොරතුරු විද්යුත් ක්රමයට හුවමාරු කර ගැනීමට මෙම පද්ධති මඟින් අවස්ථාව සැලසෙයි. ඒ හරහා ලේඛන කටයුතු අඩු කිරීමටත්, එකිනෙකට සම්බන්ධ නොවූ ක්රියාපටිපාටි හේතුවෙන් ඇතිවන ප්රමාද අවම කිරීමටත් හැකි වනු ඇත.
ඇමරිකානු තානාපති කාර්යාලය සඳහන් කළේ, කොළඹ වරාය හරහා වාර්ෂිකව ඇමරිකානු ඩොලර් බිලියන 30ක පමණ වටිනාකමකින් යුත් ඇමරිකාවට සම්බන්ධ භාණ්ඩ ප්රවාහනය කෙරෙන බවයි. දකුණු ආසියාව ගෝලීය වෙළෙඳපොළ සමඟ සම්බන්ධ කරන ප්රධාන ප්රතිනැව්ගත කිරීමේ මධ්යස්ථානයක් ලෙසද කොළඹ වරාය ක්රියා කරයි.
ශ්රී ලංකාවේ ඇමරිකානු තානාපති එරික් මේයර් මහතා පැවසුවේ, ඇමරිකාවට සහ ඇමරිකාවෙන් ප්රවාහනය කරන භාණ්ඩ අඩංගු බහාලුම් 500,000කට වැඩි සංඛ්යාවක් සෑම වසරකම කොළඹ වරාය හරහා ගමන් කරන බවයි. එමඟින් ඩොලර් බිලියන ගණනක වෙළෙඳාමක් සිදුවන බවද ඔහු සඳහන් කළේය.
වරායේ කාර්යක්ෂමතාව ඉහළ නැංවීම සහ නැව් ප්රවාහන පිරිවැය අඩු කිරීම මඟින් සැපයුම් දාම ශක්තිමත් වන බවත්, ඇමරිකානු ව්යාපාරිකයන්ට සහ පාරිභෝගිකයන්ට ප්රතිලාභ සැලසෙන බවත් තානාපතිවරයා පෙන්වා දුන්නේය. එමෙන්ම ඇමරිකානු තාක්ෂණ සමාගම් සඳහා නව වාණිජ අවස්ථාද නිර්මාණය වනු ඇතැයි ඔහු පැවසීය.
මේ අතර, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්ය අනුර කරුණාතිලක මහතා සඳහන් කළේ, කොළඹ වරාය කලාපීය සමුද්රීය මධ්යස්ථානයක් ලෙස පවත්වාගෙන යාම සඳහා එහි මෙහෙයුම් නවීකරණය කිරීම අත්යවශ්ය බවයි.
මෙම ව්යාපෘතිය මඟින් වෙළෙඳ කටයුතු පහසු කිරීම, ව්යාපාරික අවස්ථා ආකර්ෂණය කර ගැනීම සහ ශ්රී ලංකාවේ ජාත්යන්තර වෙළෙඳ සබඳතා ශක්තිමත් කිරීම සිදුවනු ඇතැයි ඔහු ප්රකාශ කළේය.
ශ්රී ලංකා වරාය අධිකාරියේ සභාපති ආචාර්ය පරාක්රම දිසානායක මහතාද මෙම වැඩපිළිවෙළ පිළිගනිමින් සඳහන් කළේ, නව ඩිජිටල් පද්ධති මඟින් වරාය මෙහෙයුම්වලට සම්බන්ධ ආයතන සහ ව්යාපාරිකයන් අතර සම්බන්ධීකරණය වැඩිදියුණු වන බවයි. එමෙන්ම නැව් සමාගම්වලට සහ පාරිභෝගිකයන්ට වඩා කාර්යක්ෂම හා පුරෝකථනය කළ හැකි සේවාවක් සැපයීමටද හැකි වනු ඇතැයි ඔහු පැවසීය.
ඩිජිටල් නවීකරණය සඳහා අවශ්ය දෘඩාංග, මෘදුකාංග සහ තාක්ෂණික විශේෂඥ දැනුම සැපයීමට ඇමරිකානු තාක්ෂණ සමාගම්වලටද මෙම ව්යාපෘතිය හරහා අවස්ථා උදා වන බව ඇමරිකානු තානාපති කාර්යාලය සඳහන් කළේය.
ව්යාපෘතිය ක්රියාත්මක කිරීම සඳහා හවුල්කරුවෙකු තෝරා ගැනීම විවෘත හා තරගකාරී තේරීම් ක්රියාවලියක් ඔස්සේ සිදු කිරීමට නියමිතය.
මෙම ආයෝජනය මඟින් ජාත්යන්තර වෙළෙඳ මාර්ග ශක්තිමත් කිරීම, ඇමරිකානු සැපයුම් දාමවලට සහාය වීම සහ ඉන්දියන් සාගරයේ ප්රධාන සමුද්රීය වෙළෙඳ හවුල්කරුවෙකු ලෙස ශ්රී ලංකාවේ භූමිකාව තවදුරටත් ශක්තිමත් කිරීම අපේක්ෂා කරන බවද ඇමරිකානු තානාපති කාර්යාලය වැඩිදුරටත් සඳහන් කළේය.


