කොළඹ ගංවතුරට හේතුවූ කානු අවහිරතා ස්ථාන 60ක් හඳුනාගනී

පසුගිය නොවැම්බර් 06 වැනිදා ඇදහැලුණු ධාරානිපාත වර්ෂාව හමුවේ කොළඹ නගරය තුළ හටගත් දරුණු ගංවතුර තත්ත්වයට හේතු වූ, වැසි ජලය බැසයාමට බාධා කරමින් අවහිර වී ඇති කානු සහ ඇළ මාර්ග ස්ථාන 60ක් මැතිවරණ කොට්ඨාස පහක් ආවරණය වන පරිදි බලධාරීන් විසින් හඳුනාගෙන තිබේ.
ඒ අනුව, අදාළ අවහිරතා ඉවත් කර ජලය බැසයාමේ මාර්ග යථා තත්ත්වයට පත්කිරීමේ විශේෂ ඒකාබද්ධ මෙහෙයුම ඊයේ (08) ඉරිදා දෙවැනි දිනටත් අඛණ්ඩව ක්‍රියාත්මක විය.
නාරාහේන්පිට, බම්බලපිටිය, වැල්ලවත්ත, කිරුලපන, දෙමටගොඩ සහ කොළඹ මධ්‍යම ප්‍රදේශය ඇතුළු කලාප රැසක් ආවරණය කරමින් මෙම ශුද්ධ පවිත්‍ර කිරීමේ මෙහෙයුම ක්‍රියාවට නැංවේ.
ගංවතුර උග්‍ර වීමට හේතු රැසක්
නිසි ලෙස නඩත්තු නොකළ ජලාපවහන පද්ධති, නීතිවිරෝධී අනවසර ගොඩකිරීම්, සැලසුමකින් තොරව සිදුකළ අවිධිමත් ඉදිකිරීම් සහ අදාළ රාජ්‍ය ආයතන අතර නිසි සම්බන්ධීකරණයක් නොමැතිකම මෑතකදී කොළඹ නගරය මෙලෙස ජලයෙන් යටවීමට ප්‍රධාන වශයෙන් බලපෑ බව නිලධාරීහු පෙන්වා දෙති.
මෙම ඒකාබද්ධ මෙහෙයුම සඳහා ශ්‍රී ලංකා යුද හමුදාව, කොළඹ මහ නගර සභාව, ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව (SLLDC), නාගරික සංවර්ධන අධිකාරිය (UDA) සහ මාර්ග සංවර්ධන අධිකාරිය (RDA) යන ආයතන සක්‍රීයව දායකත්වය සපයයි.
කොළඹ නගරයේ ජලාපවහන පද්ධතිය විධිමත් කර, ඉදිරියේදී ඇතිවිය හැකි ගංවතුර අවදානම් කඩිනමින් අවම කිරීම මෙම වැඩසටහනේ මූලික අරමුණයි.





