විදේශීය ඉලෙක්ට්රොනික දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස අලෙවි කිරීමට උත්සාහ කළ පුද්ගලයකු ශ්රී ලංකා නාවික හමුදාව සහ පොලිසිය එක්ව ඔක්තෝබර් 15 වැනිදා සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී අත්අඩංගුවට ගෙන තිබේ.
කොළඹ කොටුවේ පිහිටි රේගු දෙපාර්තමේන්තු මූලස්ථානය ආසන්නයේදී මෙම මෙහෙයුම සිදුකර ඇත.
බටහිර නාවික විධානය යටතේ ක්රියාත්මක වූ ශ්රී ලංකා නාවික නෞකා රංගල ආයතනයේ නිලධාරීන්, මිරිහාන දිස්ත්රික් අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් සමඟ එක්ව සැකකටයුතු පුද්ගලයකු පරීක්ෂාවට ලක්කර තිබේ. එහිදී නීතිවිරෝධී ඉලෙක්ට්රොනික දුම්වැටි 30ක් සොයාගෙන ඇති අතර, අදාළ පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු යටියන්තොට ප්රදේශයේ පදිංචි 37 හැවිරිදි පුද්ගලයකු බව හඳුනාගෙන තිබේ.
සැකකරු සහ අත්අඩංගුවට ගත් ඉලෙක්ට්රොනික දුම්වැටි තොගය වැඩිදුර නීතිමය කටයුතු සඳහා වැලිකඩ පොලිස් ස්ථානය වෙත භාරදී ඇත.


