කිලෝවොට් පැයකට රු. 25,000ක්: සෝලාර් ගබඩා පද්ධති සඳහා කෝටි 350ක් වෙන්කෙරේ

නව වහල මත සූර්ය බලශක්ති පද්ධති (Rooftop Solar) සමඟ විදුලිය ගබඩා කිරීමේ බැටරි පද්ධති (Battery storage systems) සවිකරන ගෘහස්ථ පාරිභෝගිකයින් සඳහා කිලෝවොට් පැයකට (kWh) රුපියල් 25,000ක රජයේ සහනාධාරයක් ලබාදීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා 2027 අයවැය මඟින් යෝජනා කර තිබේ.
ඊයේ (12) පාර්ලිමේන්තුව හමුවේ 2027 අයවැය යෝජනා ඉදිරිපත් කරමින් ජනාධිපතිවරයා සඳහන් කළේ, පුනර්ජනනීය බලශක්ති උත්පාදනය ප්‍රවර්ධනය කිරීම, රටේ බලශක්ති සුරක්ෂිතතාව ශක්තිමත් කිරීම සහ ජාතික විදුලිබල පද්ධතියේ අසමතුලිතතා අවම කරමින් පද්ධති ස්ථායීතාව ඉහළ නැංවීම මෙම යෝජනාවේ මූලික අරමුණ බවයි.
මෙම යෝජනාව යටතේ, ‘Net Plus’ ක්‍රමය යටතේ නව වහල මත සූර්ය බල පද්ධති ස්ථාපිත කරන නිවාස සඳහා උපරිම කිලෝවොට් පැය 10ක (10 kWh) බැටරි ධාරිතාවක් දක්වා කිලෝවොට් පැයකට රුපියල් 25,000 බැගින් (උපරිම රුපියල් 250,000ක් දක්වා) මෙම සහනාධාරය හිමිවේ. මෙම සහනාධාර වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා රුපියල් මිලියන 3,500ක් (රුපියල් කෝටි 350ක්) වෙන්කිරීමට අයවැයෙන් යෝජනා කර ඇත.
සූර්ය බැටරිවල 10% PAL බද්දත් ඉවතට
මීට අමතරව, සූර්ය බලශක්තිය ගබඩා කිරීම සඳහා ආනයනය කරනු ලබන බැටරි මත පනවා ඇති සියයට 10ක වරාය හා ගුවන්තොටුපොළ සංවර්ධන බද්ද (PAL) සම්පූර්ණයෙන්ම ඉවත් කිරීමටද ජනාධිපතිවරයා යෝජනා කළේය.
එම බදු ඉවත් කිරීම හරහා සෘජු සහනාධාරයට අමතරව කිලෝවොට් පැයකට රුපියල් 4,000ත් 5,000ත් අතර අමතර බදු සහනයක් පාරිභෝගිකයින්ට හිමිවන බව හෙතෙම පෙන්වා දුන්නේය. ඒ අනුව, සූර්ය බැටරි පද්ධති සවිකරන ගෘහස්ථ පාරිභෝගිකයින්ට රජයේ සෘජු මූල්‍ය සහනාධාරය මෙන්ම බදු අඩුකිරීමේ ප්‍රතිලාභය යන දෙකම එකවර හිමිවනු ඇත.
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තිය වෙත සංක්‍රමණය වීමේ ජාතික වැඩපිළිවෙළ යටතේ ගෘහස්ථ මට්ටමින් බැටරි ගබඩා පද්ධති භාවිතය දිරිමත් කිරීම මෙම පියවරයන්හි අපේක්ෂාව බවද ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.



